වෙළෙඳපොලේ අළෙවි කෙරෙන පොල්තෙල් වල වර්ගය හා මිල ප්‍රදර්ශණය කිරීම අනිවාර්යයි යැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසා ඇත.

මේ වන විට වෙළෙඳපොලේ පොල්තෙල් වල බහුලව පවතින අහිතකර පිළිකාකාරක රසායනිකයක් වන ඇෆොලටොක්සින් (Aflatoxin ) අඩංගු බවට පැමිණිලි ලැබී ඇති අතර, , දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල්තෙල් වල සෑම මසකටම අහඹු ලෙස නිශ්චිත ඉලක්කගත සාම්පල් තොගයක් පරීක්ෂාවට ලක් කරන ලෙසත්, එම වාර්තා පාරිභෝගික කටයතු අධිකාරියට ඉදිරිපත් කරන ලෙසත්, පොල් සංවර්ධන අධිකාරියේ හා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

ආනයනය කෙරෙන පොල්තෙල් ආනයනය කරන අවස්ථාවේදී පරීක්ෂාවට ලක් කරන අතර, එහිදී ලබා දෙන වාර්තා අවශ්‍යය වූ විට ඉදිරිපත් කිරීමට පවත්වා ගන්නා ලෙසද ඔහු සඳහන් කර ඇත.

වෙළෙඳපොලේ පිරිසිදු සුදු පොල්තෙල් මෙන්ම, පිරිපහදු කළ පොල්තෙල් ඇතුළු විවිධ මිල ගණන් යටතේ පවතින පොල්තෙල් වර්ග පාරිභෝගිකයාට හදුනාගත හැකි අන්දමින් එහි වර්ගය මුද්‍රිතව ප්‍රදර්ශණය කිරීම අනිවාර්ය බව සඳහන් කළ අමාත්‍යවරයා, එසේ නොකරන බෙදාහැරීම් ආයතන හා සිල්ලර වෙළෙඳසැල් මුද්‍රා තබන ලෙසට හා අවශ්‍ය ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.