ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ බංග්ලාදේශය අතර අද පැවැති තරගයෙන් ලකුණු 137ක ජයක් හිමිකර ගැනීමට එංගලන්තය සමත් විය.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළ අතර, ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ එංගලන්තය කඩුලු 09ක් දැවී ලකුණු 364ක් රැස් කළේය. එහිදී ඩේවිඩ් මලන් වේගවත් ලකුණු 140ක් රැස් කළ අතර, ඊට හතරේ පහර 16ක් සහ හයේ පහර 05ක් ඇතුළත් විය.

බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී මෙහෙදි හසන් කඩුලු 04ක් සහ ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 03ක් දවාගත්හ.

අනතුරුව ලකුණු 365ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශය පන්දුවාර 48.2ක් අවසානයේ සියලු දෙනා දැවී රුස් කළේ ලකුණු 227ක් පමණි. එහිදී ලිටන් දාස් ලකුණු 76ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 51ක් රැස් කළහ. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් රීස් ටොප්ලි කඩුලු 04ක් බිඳ හෙළීය.