මෙරට බලශක්ති ක්ෂේත්‍රය නියාමන කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී ස්ථාපනය කරන බවත් එමගින් සමස්ත බලශක්ති ක්ෂේත්‍රයම ආවරණය වන නියාමන ක්‍රියාවලියක් බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත.

ලිහිසි තෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර තුනකට වරක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බවත් සියලුම ආනයනික ලිහිසි තෙල් වර්ග වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම් ගතව ඇති 1200 කට ආසන්න වන පිරවුම් හල්වල විකිණිමට පහසුකම් සලසන අතර එමගින් පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ඒවා මිලට ගැනිමේ අවස්ථාව ලැබන බවත් ඔහු සදහන් කර තිබේ.

වෙළඳපොළ ඒකාධිකාරයක් ඇති නොවන පරිදි, ගුණාත්මක නිෂ්පාදන සියල්ල වෙනුවෙන් යහපත් තරගකාරී වෙලදපොලක් නිර්මාණය කිරීම අවශ්‍ය බව ද අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර ඇත.

නව රෙගුලාසි, රජයේ ප්‍රතිපත්ති තීරණ සහ අනෙකුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡා කිරීමට, මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් සමග විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.