කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් FOS POWER නම් නෞකාවක් පැමිණ ඇති අතර එම නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී එම ඉන්ධන නියමිත තත්ත්වයෙන් නොමැති බවට රසායනගාර වාර්තා 2කින් තහවුරු කර ඇති මුත් එම ඉන්ධන කොලොන්නාවේ සිට පාරිභෝගිකයන් වෙත යොමු කිරීමට සූදානමක් ඇති බවට වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (7) පාර්ලිමේන්තුවේදී අනාවරණය කර ඇත.

මෙම පරීක්ෂණ වාර්තාව ඉන්දීය තෙල් සමාගමේ ඉල්ලීම පරිදි සිදු කර ඇති බවත් පසුගිය 5 වැනිදා සහ 6 වැනිදා සිදුකළ වාර්තා තුළින් මෙම ඉන්ධන තත්ත්වයෙන් බාල බවට නිගමනය කර ඇති බවත් විපක්ෂනායකවරයා පවසා තිබේ.

එවැනි බාල බවට තහවුරු වී තිබියදීත් බෙදා හරින්න තීරණය කිරීම බරපතල කාරණාවක් බවත් මෙය සාක්ෂි සහිතව සනාථ කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

පසුගිය ඔක්තෝබර් 30 සිංගප්පූරුවේ සිට පිටත්වී ඇති මෙම නෞකාව කොළඹට නොවැම්බර් 5 වැනිදා පැමිණ ඇති බවත් මෙය දූෂිත ගණුදෙනුවක් බැවින් අගමැතිවරයා මූලික වී මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු අනාවරණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර තිබේ.