කලාව විසින් යථාර්තය නිරූපණය කරනවා.ඒ වගේම කලාව විසින් අලුත් යථාර්තයන් පරිකල්පනය කරනවා.සම්භාව්‍ය උදාහරණයක් වෙනුවට අපි ජනප්‍රිය දෙමළ චිත්‍රපටියක් ගමු,ඔය සූර්යා,වික්‍රම්,අජිත් කුමාර් එහෙම නැත්නම් තලපති විජේ වගේ නළුවෙක් රගපාන.ඒ චිත්‍රපටිවල පවා තියෙන්නෙ,දුෂ්ටත්වයෙන් පිරුණු ලෝකයක් වෙනුවට ආදරයෙන් පිරුණු ලෝකයක් පරිකල්පනය කිරීමක්.ගොඩක් චිත්‍රපටි නිමාවෙන්නෙ කෲරත්වය වෙනුවට කරුණාව දෝරෙ ගලන සමාජයක් පිළිබද උත්තරීතර ප්‍රාර්ථනාවකින්.

නමුත් අපි ඇයි ඒ චිත්‍රපටි බොළද සිනමාව විදියට හදුන්වන්නෙ?හුදු විනෝදාස්වාදයම මිසක් අපි ඒ සිනමාව බැරෑරුම් විදියට බාරගන්න සූදානම් නැහැ.හේතුව තමයි තීරණාත්මක අවස්ථාවකදි ඒ චිත්‍රපටි භයානක ලෙසින් යථාර්තයෙන් දුරස් වීම.

අපි හොදාකාරවම දන්නවා,ලෝකයේ මේ තියෙන දුෂ්ටත්වය තනි මිනිහෙකුට පරාජය කරන්න බැහැ.හුදෙකලා වීරයෙකුට පරාජය කරන්න බැහැ.ඒකට මුළුමහත් සමාජයම සාමූහිකව සංවිධානය වෙන්න ඕන.

හැබැයි ඒ දුර්වලකම තිබියදී වුනත්,ඒ ෆැන්ටසිය තිබියදී වුණත් හොදටම පැහැදිලියි මේ චිත්‍රපටිවලින් පවා පරිකල්පනය කරන්නෙ වඩාත් යහපත් යථාර්තයක්.අලුත් යථාර්තයක්.

අන්න ඒ වගේ නව යථාර්තයක් පරිකල්පනය කරපු ගීතයක් විදියට තමයි, “මේ තරම් සියුමැලි ද කළු ගල්” ගීතය මම හදුනාගන්නෙ.

මේ තරම් සියුමැලි ද කළු ගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකණ බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

හිතක් පපුවක් නැති කළු ගලකට බුදු ගුණ එන්නත් කරනව කියන්නෙ ලේසි පාසු වික්‍රමයක් නෙවෙයි.නිකමට හිතන්න,අවුක​න පිළිමය පාමුලට ගියාම අපිට සිද්ධ වෙන දේ.මේක කළු ගලක් නේද කියන කාරණාව අපිට මුළුමනින්ම අමතක වෙනවා.බුදුන් වහන්සේ ජීවමානවම අප ඉදිරිපිට වැඩ ඉන්නවා වගේ දැනෙන්න ගන්නවා.උන්වහන්සේ ගෙ මහා කරුණාව,මෛත්‍රිය,මුදිතාව,උපේක්ෂාව හාත්පස පැතිරිලා වගේ දැනෙන්න ගන්නවා.නොදැනුවත්වම අපි ඒ බුද්ධ බලයට අවනත වෙනවා.හිස නැමෙනවා.දණ නැමෙනවා.දෝත් එකතු වෙනවා.

භක්තියත් ශ්‍රද්ධාවත් අතරින් කුතුහලයක් වැඩෙන්නෙ එහෙමත් කෙනෙකුට.”දෙයියනේ,කළු ගලකින් මෙච්චර ප්‍රාතිහාර්යයක් මවපු මනුස්සයා කවුද” කියලා එවැන්නෙකු විශ්මයට පත් වෙන්න පුලුවන්.මේ ගීතයේ රචකයා වෙච්ච රජී වසන්ත වෙල්ගම අන්න ඒ විදියට කුතුහලයේ ​සෞන්දර්යයට කීකරු වු​ණ කෙනෙක්.

ඔහු මනසින් චාරිකාවක් යනවා ඉපැරණි අතීතයට, අනුරාධපුර යුගයට.මෙන්න එතකොට ඔහුට මුණගැහෙනවා ඒ මහිමාන්විත නිර්මාණකරුවා, අසහාය ගල් වඩුවා.

කලා වැව ළග ඉලුක් හෙව​ණක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

කළු ගලකින් බුදුන් වහන්සේ ගෙ ගුණ මවන්න නම් ශිල්පීය නිපුණතාවය විතරක් තිබිලා මදි.ඒ ගුණ සමුදාය යම් තරමකට හෝ හදුනගෙන ඉන්නත් ඕන.ඒ මහා කරුණා ගුණ අඩවියට යම් තරමකට හෝ සමීප වෙලා ඉන්නත් ඕනෙ.මෙත්තා ව මුදිතා ව උපේක්ෂා ව තමන් ගෙ ජීවන පැවැත්ම තුළත් අභ්‍යාස කරලා තියෙන්න ඕන.එහෙම කරන්න නම් මේ ගල් වඩුවාට තියෙන්න ඕන සුපේෂල අධ්‍යාත්මය ක්.විනීත අධ්‍යාත්මයක්.හුදු සාමාන්‍ය ජනතාවගෙන් ඉහලට එසවුණු අධ්‍යාත්මය ක්.ඒ වගේම ප්‍රශංශනීය ජීවනාවබෝධය ක්.කලා වැවේ නැගෙන බිදෙන රැළිති ඇසුරින් පවා ජීවිතයේ ස්වභාවය මෙනෙහි කරන්න පුලුවන් එහෙම මනුෂ්‍යයෙකුට.

ප්‍රකට ඉංග්‍රීසි කවියෙක් කියලා තියෙනවා තමන් ලියූ හොදම කවි වෙනුවෙන් ජීවිතයෙන් නොසෑහෙන්න වන්දි ගෙව්වා කියලා.අපේ ගල් වඩුවාත් අන්න ඒ වගෙ.කළු ගලකින් බුදු රුව මවන්න තරම් හදවත සුසර කරගැනීම පහසු නැහැ.ඒක හරියට පාරමිතාවක් වගේ.දුෂ්කරයි.අසීරුයි.කැපකිරීම් සහිතයි.සමහර විට අපේ අද්විතීය ගල් වඩුවා ඒ අද්විතීය බව උදෙසා කැප කරන්න ඇත්තෙ තමන්ගෙ ලෙෘකික ජීවනය වෙන්න පුලුවන්.ඒත් ඒ ගැන දුකක් හෝ පසුතැවීමක් ඔහුට නැහැ.හේතුව ඔහු දැනටමත් වෙනත් විමුක්ති සුවයක් රස විදිමින් සිටින නිසා.

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා

ඒ විමුක්ති සුවය අනුසාරයෙන් තමයි ඔහු හදුනා ගන්නෙ ආදරය,දයාව,කරුණාව,මෛත්‍රිය.බුදු රුවක් ඇසුරේදී ඒ සියල්ල පරමාදර්ශීයි.අනුත්තරයි.ඒක ඇවිල්ලා අපේ ⁣දෛනික ජීවිතයේ දී කිසිසේත් ම සාක්ෂාත් කරගන්න බැරි උත්තරීතරබාවයක්.ඒ නිසයි මම කලින් කිව්වෙ කලාව යථාර්තය නිරූපනය කරනවා විතරක් නෙවෙයි,වඩාත් යහපත් යථාර්තයක් පරිකල්පනය කරනවා කියලත්.

අවුක​න පිළිමය ඇසුරින් ගල් වඩුවා පරිකල්පනය කරන්නෙ අන්න ඒ වගේ පරමාදර්ශී යථාර්ථයක්.ඒක මහ පො​ළොවෙ දැනට මුණගැහෙන යථාර්ථයක් නෙවෙයි.ඒත් මුණගැහෙනව නම් හො​ඳයි කියල අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරන යථාර්ථයක්. ඒ තරම් කරුණාවක්, ඒ තරම් දයාවක්, ඒ තරම් මෙත්තාවක් මුණගැහෙන දවසක මොනතරම් සුන්දර වේවි ද මේ විශ්වය. අන්න එහෙම දවසක තමයි අපි ඇත්තටම බුදුන් දකින්නෙ.

නලින්ද සංජීව ලියනගේ