ශ්‍රී ලංකාවේ මත්පැන්  සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC), මොවෙන්ඩි ඉන්ටර්නැෂනල් (Movendi International) සහ වයිටල් ස්ට්‍රැටජීස්  (Vital Strategies) විසින් මෙහෙයවන ලද රීසෙට් ඇල්කොහොල්  (RESET Alcohol) සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), මොවෙන්ඩි ඉන්ටර්නැෂනල්,  ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) සහ ADIC විසින් කරන ලද පර්යේෂණ ප්‍රකාශන සඳහා පර්යේෂණය එළි දැක්වීම පසුගියදා  පැවැත්විණි.

මෙහි දී අධ්‍යයනයන් හතරක් සහ ඒවායේ සොයාගැනීම් ඉදිරිපත් කරන ලද අතර පසුව ප්‍රේක්ෂකයින් සමඟ ප්‍රගතිශ්‍රීලී සාකච්ඡා පවත්වන ලදී.

මොවෙන්ඩි ඉන්ටර්නැෂනල් නියෝජනය කරමින් ක්‍රිස්ටිනා ස්පර්කෝවා මහත්මිය ‘ශ්‍රී ලංකාවේ මද්‍යසාර බදුකරණය’ පිළිබඳ ඔවුන්ගේ මේස අධ්‍යයනයේ සොයාගැනීම් ඉදිරිපත් කර ඇත.

දේශීයව නිපදවන සහ ආනයනය කරන මද්‍යසාර සඳහා බදු පැනවීම සහ අපේ රටේ මද්‍යසාර භාවිතය හා සම්බන්ධ පිරිවැය සහ හානිය තීරණය කිරීමේදී බදුකරණයේ කාර්යභාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

 UNDP හි ආචාර්ය ලුයිස් ඩි’සූසා සහ ඩේසි ලැන්වර්ස් මහත්මිය විසින් ආර්ථික බර, සෞඛ්‍ය බලපෑම සහ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ විශ්ලේෂණය කරමින් ‘ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය සඳහා වූ ආයෝජන අවස්ථා’ පිළිබඳ පර්යේෂණ ප්‍රතිඵල ඉදිරිපත් කරන ලදී.

වයිටල් ස්ට්‍රැටජීස්හි ගෝලීය ප්‍රතිපත්ති සහ පර්යේෂණ, ප්‍රතිපත්ති උපදේශනය සහ සන්නිවේදනය පිළිබඳ උප සභාපති ආචාර්ය නන්දිතා මුරුකුට්ල සහ ADIC හි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා විසින් මද්‍යසාර හානිය, බදුකරණය සහ මිලකරණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස්, දැනුම සහ ආකල්ප පිළිබදවත් මද්‍යසාර නිෂ්පාදන සඳහා අයකිරීම සහ බදු වැඩිකිරීම ජනතාවගේ සහාය තක්සේරු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පවත්වන ලද මත විමසුමේ සොයාගැනීම් ඉදිරිපත් කරන ලදී.

මෙම සැසියේදී, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීම සඳහා මද්‍යසාර ප්‍රතිපත්තිවල සිදු කළ යුතු වෙනස්කම්  සඳහා වන පැහැදිලි ඉල්ලීමක්, සහ මද්‍යසාර බදු වැඩිකිරීම සම්බන්දයෙන් මහජන කැමැත්ත සහ අවශ්‍යතාවයය පැහැදිලිව දක්වන ලදී .