ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) කොළඹ ෂැංග්‍රිලා හෝටයේදී පැවැත්විණි. එහිදී ඉහළම ලංසුව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක සමත් විය. ඇමෙරිකානු ඩොලර් 20,000ක මූලික වටිනාකමකින් වෙන්දේසියට ඉදිරිපත්ව සිටි ඔහුව අවසානයේ ජැෆ්නා කිංග්ස් විසින් ඩොලර් 92,000ක මුදලකට මිලදී ගත්තේය. එම වටිනාකම ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 28,000,000ක පමණ මුදලක් වේ.

අමෙරිකානු ඩොලර් 30,000ක මූලික ලංසුවකින් වෙන්දේසියට ඉදිරිපත්ව සිටි චරිත් අසලංකව අවසානයේ ඩොලර් 80,000ක (රු.25,000,000) මුදලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය. මෙම වෙන්දේසියේදී අලෙවි වූ පළමු ක්‍රීඩකයා ලෙස ධනංජය ද සිල්වා දඹුල්ල අවුරා කණ්ඩායම විසින් ඩොලර් 76,000ක මුදලකට මිලදී ගත් අතර, අවුරා කණ්ඩායම බිනුර ප්‍රනාන්දු වෙනුවෙන්ද එම වටිනාකමම වැය කළේය. දිනේෂ් චන්දිමාල්ව ඩොලර් 72,000ක මුදලකට මිල දී ගත්තේ බී-ලව් කැන්ඩි කණ්ඩායමයි. දුෂ්මන්ත චමීර ඩොලර් 70,000ක මුදලකට බී-ලව් කැන්ඩි පිල විසින්ම මිලදී ගැනීමට කටයුතු කළේය.

එමෙන්ම ඩොලර් 30,000ක මූලික ලංසුවකින් ඉදිරිපත්ව සිටි යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් පිල විසින් ඩොලර් 56,000ක මුදලකට මිලදී ගැනීම විශේෂත්වයකි. මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 360ක් ජාතික වරම් ලත් සහ ජාතික වරම් නොලත් ලෙස කාණ්ඩ දෙකක් යටතේ ලියාපදිංචි වී සිටි අතර, ඊට විදේස් ක්‍රීඩකයන් 156ක් සහ දේශීය ක්‍රීඩකයන් 204ක් ඇතුළත් විය.

මෙම වෙන්දේසියට පෙර කණ්ඩායම 05 විසින්ම දේශීය ක්‍රීඩකයන් දෙදෙනකු සහ විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකු කණ්ඩායමට ඍජු ගිවිසුම් මගින් මිලදී ගෙන තිබිණි.