පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගන්නා බවට ලැබුණු පැමිණිල්ලක් මත එම ස්ථානය පරීක්ෂාවට ඊයේ (26) එහි ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකරට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී තර්ජනය කර ඇති බව වාර්තා වේ. ඔහු තර්ජනාත්මකව ලේකම්වරයාට දොස් නැගූ බවයි වාර්තා වන්නේ.

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ පුත්තලම පෞද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට පිහිටි අක්කර 10 ක පමණ ඉඩම කිසිවෙකුටත් ඇතුළු නොවන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තහනම් කළ ඉඩමක් බවත් එහි කම්බි ගසන බවට ලද තොරතුරක් මත ප්‍රාදේශීය ලේකම්වරයා එය පරීක්ෂාවට ගොස් ඇත.

නමුත් මේ ගැන අලි සබ්‍රි මන්ත්‍රීවරයා පවසන්නේ,
“මේ ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කළ යුතුයි. එයාට ඒ ස්ථානයට එන්න කිසිම වුවමනාවක් නැහැ. ඒයාට තියෙන්නේ නිලධාරීන් මෙම ස්ථානයට එවිම පමණයි. ප්‍රාදේශීය ලේකම් කොහොමද ඉරිදා රාජකාරි කරන්නේ. එයා ඉන්න ඕන සදුදා. ඒ තියෙද්දී ප්‍රාදේශීය ලේකම් ඉඩම් ජාවාරම්කරු එක්ක එතැන්ට ඇවිත් කියලා මට ආරංචි වුණාට පස්සේ තමයි මම ආවේ. මම එයාට තර්ජනය කළේ නැහැ.නමුත් එතැන යම් සිදුවිමක් වුණා.. මේ ඉඩම පුත්තලමේ අපේ මිනිස්සුන්ට අයිති ඉඩමක්. ඒක කාටවත් දෙන්න බැහැ.

අලිසබ්‍රි රහීම් මන්ත්‍රීවරයා පසුගිය දා ආන්දෝලනයට ලක් වූයේ ගුවන්තොටුපොළ හරහා රත්රන් සහ දුරකතන තොගයක් හොරෙන් රැගෙන ඒම නිසාවෙන් වන අතර ඒ සඳහා ඔහුට දඩයක් මෙන්ම පාර්ලිමේන්තු තහනමකටද ලක්විය.