ඇතැමුන් ගේ විශ්වාසයක් තියෙනවා,වඩාත් සරල වන තරමට තමයි ගීතයක් වඩාත් සමාජගත වෙන්නෙ කියලා.එහෙත් කිසිසේත්ම සරල නොවූ ඇතැම් ගී ජනාදරයට ලක්ව ඇති අයුරු නිරීක්ෂණය කරද්දි මෙකී අදහස මොනතරම් දුරකට සාධාරණ ද කියලා විචිකිච්චාවක් මා තුළ ඇති වෙනවා.

අද අපි කතා කරන්න තෝරගත්තෙ එහෙම ගීතයක්.

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැසි වැස්සා
තුරුලේ හංගා ගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

බැලූ බැල්මට මේ ගී යේ මතුපිටින් පේන්න තියෙන්නෙ මෙන්න මේ වගේ කතාවක්.හේනක් තියෙනවා.ඒ හේනෙ පැලක් නෑ.ඔන්න එක පාරටම අනෝරා වර්ෂාවක් ඇද වැටෙනවා.මුවා වෙන්න හරිහමන් ආවරණයක්,සෙවණක් ඇත්තෙත් නෑ.ඉතින් අම්මා මොකද කරන්නේ?පුංචි එකාට තෙමෙන්න දෙනවද?නෑ.මේ අම්මා පුංචි එකාව තුරුලු කරන් ඉන්නවා පායනකල්,හෙල්ලෙන්නෙවත් නැතුව.”හිටි පියවර හිටියා ඔබ අම්මේ” කියන්නෙ ඒ නිසා නෙ.

ඒක තමයි මතුපිටින් පේන්න තියෙන කතාව.ඒත් සාහිත්‍යයේ තියෙනවා ව්‍යංගය කියල එකක්.යටි පෙළක් කියල එකක්.අන්න ඒ ව්‍යංගය අදුනගන්න පුලුවන් නම් තමයි අපි ට කලා නිර්මාණයක් පරිපූර්ණ වශයෙන්ම ආශ්වාදනය කරන්න පුලුවන්.

මේ ගීය රචනා කරන්නෙ රන්බන්ඩා සෙනෙවිරත්න මහත්තයා.නුවර කළාවියේ ඉපදුණු නිර්මාණකරුවෙක්.එක්තරා කාලයක නුවර කලාවියේ බොහෝ දෙනෙකුගෙ ජීවනෝපාය වුණේ හේන් ගොවිතැන.ඔය කියන කාෂ්ටක පොළවෙ හේන් ගොවිතැන් කරන්න නම් පිරිම්යෙකු ගෙ ශ්‍රමය අත්‍යවශයයි.ඒත් අපි ට පේනවා මේ ගීයේ සදහන් හේනේ පැලක් නෑ.පැලක් හදන්න තරම් පිරිමියෙක් මේ පවුලෙ නැහැ.ඒක නිසා අපිට හිතන්න පුලුවන් මේ පුංචි එකාට තාත්තෙකු ගෙ සෙනෙහස අහිමි වෙලා කියලා.අපි දන්නෙ නැහැ ඒක වුණු විදිය නම්.

ඉතින මේ ඇද වැටුණා යැයි කියන අනෝරා වර්ෂාවත් අපි අර සැබෑ ලෝකයේ දී දකින වර්ෂාවම නෙවෙයි.ඒක අඟහිගකම නැමැති වර්ෂාව වෙන්න බැරි ද?ඒක කෲර දුප්පත්කම නැමැති වර්ෂාව වෙන්න බැරි ද?

අම්මා ඉතාම පීඩාකර ආයාසයක් දරමින්,මේ දුප්පත්කම නැමැති වර්ෂාවෙන් තමන් ගෙ දරුවා මුවා කරගන්නවා.ඒ කියන්නෙ අම්මට පුලුවන් ශක්ති ප්‍රමාණයෙන් දරුවව උස්මහත් කරල හොද අධ්‍යාපනයක් දෙනවා.

“පායන තුරු හිටි පියවර” කියන්නෙ යම් මතු දවසක මේ දරුවා නිදහස් අධ්‍යාපනය නැමැති ඉණිමග දිගේ නැගලා ජීවිතයේ සාර්ථකත්වය අත් පත් කර ගත් මොහොත වෙනකල් දීර්ඝ වූ කාලය වෙන්නත් පුලුවන්.

ඔන්න ඔහොම ජීවිතයේ සමෘද්ධිය හොයාගෙන යන දරුවට තාන්න මාන්න නිලතල සල්ලිය බාගෙ ඉඩකඩම් හිමි වෙනවා තමයි.ඒත් ඔය උදා වූ නව සමෘද්ධිමත් යුගයේදීත් තවත් එක් වර්ෂාවක් ඇද වැටෙනවා.

නුවර වීදි යට කර ගෙන නින්දා
වැහි වැගිරුණු දා…

නමුත් එදා ළමා වියේ දී මෙන් මේ ඇද හැලෙන වර්ෂාවෙන් ඔහුව මුවා කරගන්න තරම් සෙනෙහෙවන්තියක් ඔහු අසල නෑ.

ගීත රචකයා ලියනවා මෙහෙම.

“බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ”

හැමෝම ව⁣ගේ දන්නවා,යෝධ ඇලේ බෑවුම සැතපුමකට අඟලයි.දියවර බැහැගෙන යන අයුරු පේන්නෙ නැහැ.නින්දා වරුෂාව ඇද වැටෙන කොට බිරිදකගෙ සෙනෙහස අඩු වෙවී යන්නෙ එහෙමලු.

අන්න එහෙම ජීවිතයේ හෘදයාංගම කලාපය වියැළෙන කොට මේ ගීයේ කථකයාට තමන් ගෙ අම්මා ළගට දුවගෙන යන්න හිතෙනවා.

“නුඹෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ”

ඔහුට හිතෙන්න ගන්නවා,ජීවිතයේ සමෘද්ධිය කියලා මෙතුවක් ඔහු සිතා සිටි සියල්ල ව්‍යාජයක් කියලා.ඔහුට පේන්නෙ මේ සියල්ල වනාහී වහ වහා බිම අත හැරිය යුතු ඔටුන්නක් කියලා.

කොළඹ අහස කළු කරගෙන
මුහදු හුලග හඩලන කොට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ

පුතෙකු ගෙ සැබෑ නිවන,සැබෑ ශාන්තිය ඇත්තේ අම්මෙකුගෙ උණුසුමේ.ඇයට අදාලා නැහැ ඔහු ගේ සමාජ තත්ත්වය.ඔහු ගේ බල පුලුවන්කාරකම්.අම්මා කෙනෙකුට මේ කිසියක නැතත් පුතෙක් යනු පුතෙක්මයි.ඇය පේවෙලා ඉන්නෙ අන්තිම ලේ බිංදුවත් සිය දරුවාගේ සුබ සිද්ධිය තකා පූජා කරන්න.
ඒ ආදරයේ අනර්ඝ බව තේරුම්ගන්නෙ සමහර විට ඉතාම ඉක්මණින් නොවෙන්න පුලුවන්.ජීවිතේ ගොඩක් තැන්වලින් ඇද වැටුනට පස්සෙ වෙන්න පුලුවන්.ඇණ ගත්තට පස්සෙ වෙන්න පුලුවන්.ඒත් අසාර්ථක වීම් අබියස පුතුන් බිය වෙන්නෙ නැහැ.දන්නවද ඇයි කියලා?

“මම එනතුරු ඉඳිකඩ ළග ඉන්නවාද අම්මේ..?””

පුතුන් දන්නවා, සියල්ල අහිමි වෙන මොහොතෙත් අහිමි නොවෙන උණුසුමක් ඇත්නම්,ඒ ඇත්තේ අම්මෙකුගේ කේඩෑරි දෝත තුළයි කියලා.ඒ නිසා තමයි රජවරු පවා ඔටුන්න බිම තියලා අම්මලාගෙ උකුළෙ උණුසුම සෙව්වෙ.

මේ ගීය කිසිසේත්ම සරල ගීයක් නම් නෙවෙයි.සාහිත්‍යය පිරිලා.ව්‍යංගයෙන් සන්නද්ධයි.ඒ නිසාම වඩා රසවත්.වඩා හරවත්.කවුද කියන්නෙ එච්චර ගැඹුරු ගීත මිනිස්සු අහන්නෙ නැහැ කියලා.මේ ගීයේ සාර්ථකත්වය ම ඉහත ළාමක අදහස නිෂ්ප්‍රභා කිරීමක් නෙවෙයිද?

නලින්ද සංජීව ලියනගේ