හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක හෙන්රි ඔලොංගා විසින් සිම්බාබ්වේ ක්‍රිකට් පුරාවෘත්තය වන හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ තමා විසින්ම කරන ලද ප්‍රකාශයට නැවත ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බවයි.

මීට ටික වේලාවකට පෙර අලුත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔලොන්ගා පවසා සිටියේ ස්ට්‍රීක්ගේ මරණය පිළිබඳ පුවත කටකතාවක් පමණක් බවයි.

“හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ කටකතාවක් අතිශයෝක්තියට නංවා ඇති බව මට තහවුරු කළ හැකිය. මම ඔහුගෙන් ඇසුවෙමි. තෙවැනි විනිසුරු ඔහුව නැවත කැඳවා ඇත. ඔහු හොඳින් ජීවතුන් අතර ” යනුවෙන් ඔලොන්ගාගේ නව ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

මේ අතර හීත් ස්ට්‍රීක් විසින්ම අදාළ කටකතාව පිළිබඳ අදහස් දක්වමින් “එය සම්පූර්ණ කටකතාවක් සහ බොරුවක්. මම හොඳින් ජීවතුන් අතර සිටිනවා.

පිළිකාවෙන් පෙළෙන ස්ට්‍රීක්, මැයි මාසයේදී රෝහල්ගත කර තිබිණි.

හීත් ස්ට්‍රීක් සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ජාත්‍යන්තර කඩුලු ලාභියාය. ඔහු ජාත්‍යන්තර තරග 254කට ක්‍රීඩා කරමින් කඩුලු 455ක් දවාගෙන තිබේ. සිම්බාබ්වේ කණඩායමේ ඉහළම ටෙස්ට් කඩුලුලාභියා මෙන්ම ටෙස්ට් කඩුලු 200ක් දවාගත් එකම සිම්බාබ්වේ ජාතිකයා වන්නේද ඔහුය. ඔහු ටෙස්ට් තරග 65කදී කඩුලු 216ක් බිඳ හෙළා තිබේ. එමෙන්ම හීත් ස්ට්‍රීක් එක්දින ජාත්‍යන්තර තරග 189කට ක්‍රීඩා කරමින් එහිදී කඩුලු 239ක් දවාගෙන තිබේ. සිම්බාබ්වේ වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවාගත් පිතිකරු මෙන්ම එක්දින කඩුලු 200කට හිමිකම් කියන එකම සිම්බාබ්වේ ජාතිකයාද වන්නේ හීත් ස්ට්‍රීක්ය.

පිත්තෙන්ද දස්කම් දක්වා ඇති හීත් ස්ට්‍රීක් එක්දින ලකුණු 2,943ක් රැස් කර ඇති අතර, ඊට අර්ධ ශතක 13ක් ඇතුළත්ය. ඊට අමතරව ඔහු ටෙස්ට් ලකුණු 1,990ක්ද රැස් කර ඇති අතර, ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 11ක් ඇතුළත්ය.