තැන් තැන් වල මහාපරිමාණ ලෙස පරිසරය විනාශ කරන්නේ ආණ්ඩුව විසින් සකසා ඇති 2011 – 2048 ජාතික භෞතික සැලැස්මට අනුවයි. ඒ අනුව ලංකාවේ විශාල වනාන්තර විනාශයක් හා ඉඩම් මංකොල්ලයක් මේ වන විටත් සිදුවන අතර, රජය ඒ බව සඟවාගෙන තැන් තැන් වල පරිසර විනාශයන් ඔප් නංවමින් මහ සැලැස්ම සඟවමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහත්මා ප්‍රකාශ කර සිටියේය.

අද ( 2023 ජූලි 17 ) එන්. එම්. පෙරේරා ආයතනයේ දී, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව ඔහු අනාවරණය කර සිටි අතර ලංකාවේ මේ වන විට දිනකට වනාන්තර අක්කර 67 ක් පමණ විනාශ වන බවත්, මෙම ජාතික භෞතික සැලැස්ම නිසාවෙන්, ඉදිරියේදි ලංකාවේ ජලය පෞද්ගලිකකරණය , වනාන්තර විනාශ කිරීම, ලංකාවේ ඉඩම් මංකොල්ලය ඇතුළු කාරණා සිදුවීමට නියමිත අතර, ඒ අනුව ලංකාවේ දැවැන්ත පරිසර විනාශයක් සිදුවීමට නියමිතය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පරිසරවේදී කාරියමඩිත්තේ ඥානාරම හිමි පවසා සිටියේ, ලංකාවේ මේ වන විට ජාතික භෞතික සැලැස්ම අනුව අධිවේගී මාර්ග ජාලයක් ඉදිවන අතර, එයින්; කොට්ටාව – පින්නදූව අධිවේගී මාර්ගය පළමුව ඉදිවූවත්, ඉන්පසුව එම අධිවේගී මාර්ග ලංකාව පුරවටම ඉදිවන අධිවේගී මාර්ග ජාලයකි. පසුව එය ආසියානු අධිවේගී මාර්ග ජාලයට යොමු කිරීමට නියමිත බවයි. අධිවේගී මාර්ග පද්ධතිය නිර්මාණය වීම සමඟම, ලංකාවේ වනාන්තර සියල්ලම වාගෙම ආවරණය වීම සිදු වේ. ජාතික භෞතික සැලැස්ම නිසාවෙන් ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන 39 ක් පමණ ආවරණය වීම සිදු වන අතර ඒ හරහා ලංකාවේ වනාන්තර ප්‍රතිශතය අඩු වීමක් සිදුවේ.

මේ නිසාවෙන්, දේශගුණික විපර්යාස පවා සිදුවීමට හැකියි. කැළණි , කළු, බෙන්ත, නිල්වලා යන ගංගා නිම්න හරහා මෙම අධිවේගී මාර්ග නිර්මාණය වීම හේතුවෙන්, දේශගුණික විපර්යාස නිසා ඇතිවන බාහිර බලපෑම් ඒ අවට වාසය කරන ජනතාවට අත්විදීමට සිදුවනු ඇත. ගං වතුර, ජලගැලීම් නිසාවෙන් ගොවීන් වගා බිම් අතහැරීම යනාදියද සිදුවේ.