ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර අද (09) සිට බෙදාහැරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් රජයට අයත් පොහොර සමාගම් වෙත මේ වන විට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ඒ අනුව අද සිට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීමට නියමිත අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට අලෙවි කිරීමට නියමිතය.

එම පොහොර සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

ඊට අමතරව ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබාදීමට ද  රජය පියවර ගෙන ඇති බව සඳහන්ය.

වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද යුරියා ඇතුළු අනෙකුත් පොහොර සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා ඇත.