වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිලටම ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත.

දැනට වෙළෙඳපොළේ ඇතැම් එළවළු මිල ගණන් ඉහළයාම සම්බන්ධව අදහස් පළ කරමින් ගොවි නියෝජිතයින් කියා සිටියේ පවතින නියඟය නිසා මෙන්ම පොහොර මිල ඉහළ මට්ටමක පවතින නිසා එළවළු ගොවීන් අසීරුතාවන්ට ලක්ව ඇති බව ආර්ථික මධ්‍යස්ථානවල පාලකයින් හා ගොවි නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සදහන් කර තිබේ.

එම නිසා වී වගාවට මෙන්ම එළවළු වගාවට ද යුරියා පොහොර සහන මිලකට ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නුවරඑළිය, බදුල්ල, දඹුල්ල, ආදි ප්‍රදේශ ගණනාවක ගොවීන් සමග කළ සාකච්ඡාවල දී එළවළු වගාව සඳහා සහන මිලකට යුරියා පොහොර ලබා දෙන ලෙස ගොවි ජනතාව ඉල්ලීම් ඉදිරිපත් කළ බවත්, එමනිසා ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ට වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිල ගණන්වලටම යුරියා පොහොර ලබා දීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.