ඍජු හා සමානුපාතික ක්‍රමයට (මිශ්‍ර ක්‍රමයට) මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට යෝජනා වී ඇත.

ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් මුදල් විධිමත් කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීමට ද අදහස් කර තිබේ.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකා දෙකක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එහි සඳහන් යෝජනා පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන් වේ.

ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් මුදල් විධිමත් කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති අතර, මිශ්‍ර ක්‍රමයට මන්ත්‍රිවරුන් තෝරා ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අධිකරණ හා ව්‍යවස්ථා සම්පාදන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කර ඇත.

ඉකුත් 10දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති තීරණයට අනුව අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට යන බව වාර්තා වේ.

එම සාකච්ඡාව අනිද්දා (18) පස්වරු 3.00ට පාර්ලිමේන්තුවේ අංක 3 කමිටු කාමරයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.