පසුගිය ජුනි 05 වන දිනට යෙදී තිබුණු ලෝක පරිසර දිනයට සමගාමී ව බොලිවුඩයේ ජනප්‍රිය තරු බොහොමයක් පරිසරය සුරැකීමේ වැදගත්කම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ සමාජය දැනුවත් කිරිමට කටයුතු කරනු දකින්නට ලැබුණා.

විශේෂයෙන්ම ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබුවේ ප්ලාස්ටික් දූෂණයෙන් පරිසරය සුරැකීමේ වැදගත්කම සහ එක් වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් භාවිතය ප්‍රතික්ෂේප කිරීමේ වැදගත්කමයි.

බොලිවුඩයේ ජනප්‍රිය ශිල්පීන් විසින් සමාජය වෙත කෙරෙන මෙම ධනාත්මක බලපෑම අතිශයෙන්ම පැසසිය යුත්තක්. පාරිසරික ගැටළු ජය ගැනීම සහ තිරසාර හා හරිත අනාගතයක් කරා ගමන් කිරීම සඳහා ඔවුන්ගේ මැදිහත්වීම ඉතා වැදගත් වනවා. විවිධ බොලිවුඩ් ශිලිපීන් ජාත්‍යන්තරව සහ ජාතික වශයෙන් පරිසරය සුරැකීම සම්බන්ධයෙන් කටයුතු කරන විවිධ ආයතන හා සංවිධාන සමඟ එක්වී විවිධ කටයුතුවල නිරත වන අතර. ඇතැම් ශිල්පීන් පෞද්ගලිකව ද පරිසරය සුරැකීම සහ තිරසාර සංවර්ධනය අරමුණු කරගත් ව්‍යාපෘති හෝ සංවිධාන පවත්වාගෙන යනවා.

අමිතාබ් බච්චන්

සත්ව රැකවරණය සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන කණ්ඩායමක් වන People for the Ethical Treatment of Animals (PETA) සඳහා ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් විසින් සහාය ලබා දෙනවා. එමෙන්ම, සතුන්ට සදාචාරාත්මකව සැලකීම සහ ඔවුන්ගේ ආරක්ෂාවේ වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මෙන්ම, ඉන්දියාව දේශගුණික විපර්යාසවලට ලක්වීමේ අවදානම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා, අමිතාබ් බච්චන් Indian Film Academy සහ International nonprofit Global Cool සමඟින්ද  එක්ව කටයුතු කර තිබුණා. මෙම සහයෝගීතාවයේ අරමුණ වී තිබුණේ දේශගුණික විපර්යාසවල බලපෑම් සහ එම බලපෑම් අවම කිරීමට ප්‍රජාවක් ලෙස ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.

ප්‍රියංකා චොප්රා ජොනාස්

මේවන විට ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ජනප්‍රිය බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා ජෝනාස් ද පරිසරය සුරැකීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන ක්‍රියාකරන්නියක්. UNICEF සංවිධානයට අනුබද්ධ ව කටයුතු කරන ඇය පරිසරය සමඟ තිරසාරව ජීවත්වීමේ වැදගත්කම ජනතාවට අවධාරණය කරන පාරිසරික ව්‍යාපාර ගණනාවකට පසුගිය වසර කිහිපය මුළුල්ලේම කටයුතු කර තිබුණා. තිරසාර ජීවන රටාවන් අනුගමනය කිරීමට ජනතාව දිරිමත් කිරීම සහ පරිසර හිතකාමී හැසිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ “Greenthon” නම් විශේෂ වැඩසටහනේ සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන්නේද ඇයයි.

දියා මිර්සා

ඉන්දියාව සඳහා වන එක්සත් ජාතීන්ගේ පරිසර හිතකාමී තානාපතිවරිය ලෙස කටයුතු කරන බොලිවුඩ් නිළි දියා මිර්සා දේශගුණික විපර්යාස, සත්ව ආරක්ෂණය සහ තිරසාර ජීවන රටාව වැනි පාරිසරික ගැටළු පිළිබඳ ජනතා අවධානය යොමු කරවීමට කටයුතු කරන්නියක්. අපද්‍රව්‍ය කළමණාකරණය සහ කසළ වෙන් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇති ඇය ස්වච් භාරත් මෙහෙයුමේ තරුණ කේන්ද්‍රීය මුලපිරීමක් වන ඉන්දියාවේ වනජීවී භාරය (Wildlife Trust)  සමඟද සහයෝගයෙන් කටයුතු කරනවා. මීට අමතරව, Sanctuary Nature Foundation පදනම සමඟද එක්ව කටයුතු කරන ඇය, වන සතුන් සහ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීම අරමුණු කරගත් වැඩසටහන් වලට සක්‍රියව සහාය වීම විශේෂත්වයක්.

ආලියා භාත්

ස්වභාවධර්මය සහ මිනිස් ජීවිතය අතර පවතින සහජීවනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වෙනුවෙන් නව පරපුරේ අති දක්ෂ නිලියක් වන ආලියා භාත් විසින් COEXIST by Alia Bhatt  නමින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. මෙමගින් සොබාදහම සමඟ සාමකාමී සහජීවනයේ අවශ්‍යතාවය මෙන්ම පරිසර පද්ධතියට මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑම පිළිබඳව සමාජ කතිකාවක් ගොඩනැගීම ඇයගේ අරමුණ වී තිබෙනවා. එමෙන්ම සත්ව සුභසාධනය සඳහා කැපවන්නියක් ලෙසද ආලියා ප්‍රකටයි. සතුන් ආරක්ෂා කිරීමේ සහ රැකබලා ගැනීමේ වටිනාකම පිළිබඳව ඇය විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා.

එමෙන්ම, ඉන්දියාවේ ක්‍රියාත්මක BHAMLA Foundation නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් 2023 පරිසර දිනයට සමගාමීව ප්ලාස්ටික් පිටු දැකීම සහ ප්ලාස්ටික් වෙනුවට තිරසාර විසඳුම් සෙවීම සඳහා වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් සහ සංගීතඥයන් ඇතුළු ශිල්පීන් රැසක් සහභාගී වී තිබුණා. සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම සඳහා #BeatPlasticPollution #SolutionsToPlasticPollution යන හෑෂ්ටෑග් යටතේ බොලිවුඩයේ බොහෝ ශිලීපීන් සහ ශිල්පිනියන් සිය අදහස් පළකර තිබුණා.

මීට අමතරව, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, පිරිසිදු කිරීමේ ව්‍යාපෘති, රුක් රෝපණ වැඩසටහන් ඇතුළු බොහෝ වැඩසටහන් ද විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ අතර, එම වැඩසටහන් සඳහා ප්‍රවීණ නළු ජැකී ශ්රොෆ්, ප්‍රවීණ නළු අනූපම් ඛේර්, ප්‍රවීණ නිළි රවීනා ටන්ඩන්, ආලියා භාත්, විද්‍යුත් ජම්වාල් ඇතුළු ශිල්පීන් බොහෝමයක් එක් ව සිටියා.

එම කටයුත්තට සමගාමීව 2023 වසරේ පරිසර දිනය වෙනුවෙන් නිල ගීතයක් ද එළි දක්වනු ලැබූ අතර, එය “Tik Tik Plastic 2.0” ලෙස නම් කර තිබුණා. එය 2018 පරිසර දිනය වෙනුවෙන් ස්වනන්ද් කිර්කිරේ විසින් රචනාකර, ජනප්‍රිය සංගිතඥ ශාන් විසින් සංගීතවත් කළ Tik Tik Plastic ගීතයේ ප්‍රති නිර්මාණයක්. ශාන්, ශංකර් මහාදේවන්, සෝනු නිගම්, සුනිධි චෞහාන්, අර්මාන් මලික්, අයුෂ්මාන් කුරාණා ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිසක් විසින් ගායනා කරන මෙම ගීතය Tseries  ඔස්සේ පසුගියදා Youtube වෙත මුදා හැර තිබුණා.

එම ගීතයේ සබැඳිය පහතින්…

උමේෂ් ද  සිල්වා