මීගමුව – පිටිපන ප්‍රදේශයේ මීසම් 04ක පූජකවරුන් සහ කතෝලික ජනතාව අද (25) පෙරවරුවේ මීගමුව ශුද්ධ වූ කානික්කා දේවමාතාවන්ගේ දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය. එයට හේතුව ලෙල්ලමේ බලය හෙබවූ ධීවරයන්ට එරෙහිව බවයි වාර්තා වන්නේ.

ඔවුන් පවසන්නේ අදාළ ධීවර කණ්ඩායම අගරදගරු හිමිපාණන්ට සහ කතෝලික පල්ලියට එරෙහි ව අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි.

ලෙල්ලම යනුවෙන් ප්‍රසිද්ධ වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපොළ පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගිය දා නියෝග කළේ ය.

ඒ, පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහි ව අගරදගුරු හිමිපාණන් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළවයි.

ඒ පිළිබඳ කතෝලික සභාවේ ක්‍රියාකලාපයට අප්‍රසාදය පළ කරමින් ලෙල්ලමේ ධීවරයන් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට පසුගිය දා ‍‍විරෝධතාවක් ද පැවැත්වූ නමුත් කතෝලික සභාව කියා සිටියේ, ලෙල්ලමෙන් සුළු පිරිසක් ලබන වාසිය බහුතර ධීවර ප්‍රජාවට ලබාදීමේ අරමුණින් තමන් නෛතික ක්‍රියාදාමයකට යොමු වූ බව ය.

කෙසේ වෙතත් කතෝලික රදගුරු හිමිපාණන් සමඟ නඩුමඟට එළැඹ සිටින ලෙල්ලමේ ධීවර පාර්ශ්වය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්, තමන්ට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීය.