‘මුතුරාජා ඇතාගේ සිද්ධියෙන් තායි -ශ්‍රී ලංකා මිත්‍රත්වයට කිසිදු හානියක් නෑ’ ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසිය.

සිය තායිලන්ත නිල සංචාරයෙදී එරට අගමැති සහ රජු හමුවී විශ්වාසය තහවුරු කල බවත් නිරෝගී තත්ත්වයට පත් කිරීමෙන් පසු, ඇතා යළි අපට ලබාදීමට කටයුතු කිරීම ගැන නායක ස්වාමීන් වහන්සේත් අවශ්‍ය ලියකියවිලි භාර දී තිබෙන බවත් අගමැතිවරයා අද (20) පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

” මේ කාරණාව ගැන විෂය භාර අමාත්‍යතුමියගෙන් ඩලස් අලහප්පෙරුම මැතිතුමා විමසුවා. විරුද්ධ පක්ෂයේ නායකතුමත් ඉතා වැදගත් කරුණු කීපයක් අපේ අඩුපාඩුකම් සම්බන්ධව ප්‍රකාශ කළා. අනුර යාපා මන්ත්‍රීතුමා අහන කාරණාවට මම කලින් පිළිතුරු දෙන්න හැදුවේ. මම ගිය මාසය අවසානයේදී තායිලන්තයට ගමන් කරපු නිල සංචාරයේ අපේ බුද්ධ ශාසන ඇමතිතුමා විදුර වික්‍රමනායක මැතිතුමා, මම නෙමෙයි එතුමත් මගේත් එක්ක හිටියා. අපේ මොණරාගල දිස්ත්‍රික්ක විජිත බේරුගොඩ රාජ්‍ය ඇමතිතුමත්, ගමන් කළා. එතුමාලා තුන්දෙනාම හිටියා, අග්‍රාමාත්‍යතුමා හමුවුණු සාකච්ඡාවේදී. අපේ රට වෙනුවෙන් ඒ කණගාටුව මම ප්‍රකාශ කළා. ඒ ගැන කිසිම අවශ්‍යතාවයකුත් දැක්වූවේ නෑ. වේලාවට යොදාගත්ත කාලසටහන අනුව මුතුරාජා ඉදිරි දවස්වලදී තායිලන්තය කරා ගමන් කරනවා. ඒ අවශ්‍ය ඇමතිතුමිය කිව්වා වගේ විධි විධාන පරිදි අපේ නායක ස්වාමීන් වහන්සේත් අවශ්‍ය ලියකියවිලි භාර දීලා තිබෙනවා, ඒ සාත්තු කිරීම හා නිරෝගී තත්ත්වයට පරිවර්තනය කිරීමෙන් පසු, යළි අපට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධව.

ඉතින් මම හිතන්නේ නෑ තායිලන්තයයි, ශ්‍රී ලංකාවයි අතර තිබෙන මිත්‍රත්වය, සුවිශේෂ මිත්‍රත්වයක් බව යළිත් ප්‍රකාශ කරා. දැන් ඒක ඩලස් අලහප්පෙරුම මැතිතුමා සඳහන් කරපු විදිහට දෙශපාලන කාරණාවක් හා ජනමාධ්‍යයන් ඒ රටේත්, මේ රටේත් මේක ගත්ත කාරණාවක්. නමුත් ඒක ඉතාම හොඳයි, යම් යම් දේවල් ජනමාධ්‍යයෙන් එලෙස මතු කිරීමත්. අවශ්‍ය පියවරවල් අරගෙන තියෙනවා. ඒ ගමන් කරන විශේෂ යන්ත්‍රය, විශේෂ ආරක්ෂක කූඩුව සකස් කරලා තියෙනවා. ඒ අනුව ගමන් කරාවී, මේ ගැන මම වගකීමෙන් යළිත් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාවට සුවිශේෂ අවස්ථාවක් ලැබුණා. මෑත කාලයේ රාජ්‍ය නායකයෙක් හෝ රාජ්‍යයක නායකත්වය නියෝජනය කරමින් තායිලන්ත රජතුමා මටත් වෙලාවක් හමුවීමට දුන්නා. කතානායකතුමනි, ශ්‍රී ලංකාවට බොහෝම විරල අවස්ථාවක්, ආසියාවේ නායකයන් අතර ලැබුණු. ඒ නිසා අපේ මිත්‍රත්වය ඉතාම තහවුරුයි. අන්‍යෝන්‍ය එකගතාවයෙන් වැඩ කරන්නට එකඟ වුණු හැම කාරණාවක් ගැනම දෙරට අතර ඒ විශ්වාසය ඇති වී තිබෙනවා. ස්තූතියි.”

නිර්මාණි ගුණරත්න