2024 වර්ෂය ආරම්භ වී දින ගණනක් ගත වී ඇති මොහොතේ රජය පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බවට අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වසර 20කට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස දිසානායක මහතා මීට වඩා වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු බවයි. සාමාන්‍යයෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මාර්තු මාසයට පසුව බව පෙන්වා දුන් සියඹලාපිටිය මහතා කියා සිටියේ රජය ඉදිරිපත් කර ඇත්තේ පරිපූරක ඇස්තමේන්තුවක් නොවන බවයි.

විසර්ජන පනතේ හය එක වගන්තිය යටතේ විශේෂ කරුණක් සඳහා මුදලක් වෙන් කිරීම සඳහා රජයට හැකියාව ඇති බවත් ඒ පිළිබඳ මාස දෙකක් ඉක්ම යාමට පෙර පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. බංකොලොත් බව ප්‍රකාශයට පත් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසනීයත්වය දිනා ගැනීමේ ක්‍රියාකාරකම් සිදු කිරීමට සිදු වූ බවත් ඒ වෙනුවෙන් වැය වූ රුපියල් මිලියන 200ක මුදල අවිනිශ්චිත වියදම් යටතේ වැය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 50%ට වැඩි මිලියන 7.3ක කොටස් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 1230ක මුදලක් ද ඉහත ආකාරයේම වැය කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එම වියදම් පිළිබඳ පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමක් පමණක් කළ බවත් එය කිසි සේත් ම පරිපූරක ඇස්තමේන්තුවක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මේ අතර 1996 වසරේ දී ප්‍රදේශීය වතු සමාගම් 25ක් සඳහා රාජ්‍ය වතු පවරා දුන් අතර එහි දී වත්කම්වලට වඩා වගකීම් වැඩි සමාගම් වෙත බදු සහනයක් ලබා දුන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඉන් වතු සමාගම් දෙකක් අදටත් එම වරප්‍රසාදය ලබමින් සිටින බවයි. ගෙවී ගිය වසර 27 තුළම අදාළ සමාගම බදු නිදහස භුක්තිවිඳිමින් සිටීම ගැටලුවක් බව හෙතෙම පෙන්වා දුන්නේ ය. එබැවින් මෙවැනි කරුණු පිළිබඳ නිතර සොයා බලන අධීක්ෂණ කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීම සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

වැඩි දුරටත් අදහස් දැක් වූ අමත්‍යවරාය ප්‍රකාශ ක​ලේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා ම වතු ව්‍යවසායකයන්ට සහ කම්කරු අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවත් එබැවින් වතු ප්‍රජාව කෙරෙහි රජය දක්වන සැලකිල්ල පිළිබිඹු වන බවයි.