මත්පැන් නිෂ්පාදන සමාගමක් වන WA මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන බලපත්‍රය හිග බදු මුදල් ගෙවන තෙක්ම අත්හිටුවීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස් වී තිබූ අතර එම අවස්ථාවේදී සුරාබදු නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇත.

මේ වනවිට මෙන්ඩිස් සමාගමෙන් කෝටි 3ක ට අධික බදු මුදලක් අයවීමට තිබෙන අතර මීට මාස 2ක ට පමණ පෙර එහි නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළේය. නමුත් දෙසැම්බර් 31 වන දින අවසන් වීමට පෙර එකී හිග මුදල් ගෙවන බවට සහතික වෙමින් මෙන්ඩිස් සමාගම නැවත සිය නිෂ්පාදන බලපත්‍රය ලබාගෙන තිබේ.

කෙසෙවෙතත් මේ වනතෙක් මෙන්ඩිස් සමාගම හිග බදු මුදල් ගෙවා නොමැත. එසේම මෙම සාකච්ඡාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් වයඹ ඩිසටලරීස් සමාගමේ නිෂ්පාදන බලපත්‍රය යළි ලබාදීමේ දී මතුවූ ගැටළු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.

එමෙන්ම මේ වනවිට උද්ගතව තිබෙන ගැටළුවක් වන ආරක්ෂිත ස්ටිකර් සම්බන්ධයෙන් හා මත්පැන් සමාගම් වල CCTV සවි කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.