වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර මධ්‍යස්ථානය මගින් මාසිකව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අපනයනය කිරීමේ කටයුතු අරඹා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කර ඇත.

මෙම පොහොරවලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඩුබායි හි ඉදි කෙරෙමින් තිබෙන වගා ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබයි.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ තිබෙන වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ගොවිතැනින් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට නම් කාබනික හා රසායනික පොහොර දෙවර්ගයම නිර්දේශිත ප්‍රමාණයන් අනුව යෙදීම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම ආහාරවල ගුණාත්මකභාවයටත් හේතුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පර්යේෂණ මගින් සනාථ වී තිබෙන බවය.