ශ්‍රී ලංකාවේ කුළු බඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැකබලා ගැනීම සඳහා චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව මෙම නියෝජිත පිරිස සාකච්ඡා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම චීන සමාගම් දැනට වසර දෙකක කාලයක් තිස්සේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගන්නා සමාගම් වන අතර ඊට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ලාංකික කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

50 දෙනකුගෙන් සමන්විත එම චීන නියෝජිත පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වෙමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ කුළුබඩු ලෝකයේ උසස්ම කුළු බඩු ලෙස නම් කළ හැකි බවය.

ලාංකික කුළු බඩුවල නිෂ්පාදන තත්ත්වය තවදුරටත් ඉහල දැමීමට පියවර ගත යුතු අතර අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට තම සමාගම් සුදානම් බව චීන නියෝජිතයින් මෙහිදී සඳහන් කර ඇත.

එම චීන නියෝජිතයන් බත්තරමුල්ල කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගොස් එහි ප්‍රධාන අලෙවි සැල ද නිරීක්ෂණය කර ඇත.