ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ලෝ ප්‍රකට “මොනාලිසා” සිතුවමට විරෝධතාකරුවන් පිරිසක් විසින් ඊයේ (28) සුප් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඔවුන් මෙලෙස විරෝධතාව දක්වා තිබෙන්නේ “සෞඛ්‍ය සම්පන්න තිරසාර ආහාර සඳහා වන අයිතිය” ඉල්ලා සිටිමින් බවයි වාර්තා වන්නේ.

විරෝධතාව දක්වමින් කාන්තාවන් දෙදෙනෙකු විසින් තැඹිලි පැහැති “වට්ටක්කා සුප්” මෙම සිතුවමට විසි කර ඇති අතර, ඔවුන් විසින් මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ, “What is more important? Art or the right to healthy and sustainable food? “Your agricultural system is sick. Our farmers are dying at work,” (“කුමක්ද වඩා වැදගත්? – කලාව ද සෞඛ්‍ය සම්පන්න තිරසාර ආහාර සඳහා ඇති අයිතියද?, ඔබගේ කෘෂිකාර්මික කුමවේදය විකාරයක්. අපේ ගොවීන් රැකියාවේදී මිය යනවා.”) යනුවෙන් පවසමින්. කෙසේ වෙතත්, වෙඩි නොවදින වීදුරු යොදා ආරක්ෂාකර ඇති සිතුවමට මෙම ප්‍රහාරයෙන් හානියක් සිදුව නැති බවයි වාර්තා වන්නේ.

16 වන සියවසේ දී ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය කළ විශිෂ්ටතම නිර්මාණය මෙන්ම ලොව ජනප්‍රියතම සිතුවම ලෙස හැඳින්වෙන “මොනාලිසා” සිතුවම ප්‍රහාරයට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි පැවසෙන්නේ. 1911 දී කෞතුගාර සේවකයෙකු විසින් සොරා ගත් සිතුවමට 1950 වසරේදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබුණා. ඉන් පසු සිතුවමේ ආරක්ෂාව තර කිරීමට කෞතුගාර පාලන අධීකාරිය පියවර ගෙන තිබෙනවා. 2009 වසරේදී කාන්තාවක විසින් සෙරමික් කෝප්පයකින් සිතුවමට දමා ගැසූ පුවතක් වාර්තා වූ අතර, 2022 දීද මහළු කාන්තාවක ලෙස වෙස් වලාගෙනිමින් රෝද පුටුවකින් පැමිණි පුද්ගලයෙකු සිතුවම වෙත කේක් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

අදාළ සිදුවීම අවස්ථාවේ වීඩියෝව පහතින්…