වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක කුසලානය තමා සතු කර ගැනීමට උරුගුවේ යොවුන් පාපන්දු කණ්ඩායම අද උදෑසන සමත් විය.

ඉතාලි යොවුන් පාපන්දු කණ්ඩායම හා පැවැති තියුණු තරගයකින් අනතුරුව ගෝල 1-0 ලෙස තරගය ජය ගැනීමට උරුගුවේ යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

ආර්ජන්ටිනාවේ ඩියාගෝ මැරඩෝනා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ 86වැනි මිනිත්තුවේදී උරුගුවේ ක්‍රීඩක Luciano Rodríguez සිය හිසින් එල්ල කර විශිෂ්ට පහරක් ගෝලයක් බවට පත්කර ගනිමින් යොවුන් පාපන්දු කුසලනාය උරුගුවට හිමිකර දුන්නේය.

මෙම තරගාවලියේ වැඩිම ගෝලලාභියා සහ හොඳම ක්‍රීඩකයාට හිමි Adidas Golden Boot award සහ Adidas Golden Ball සම්මානය ඉතාලි ක්‍රීඩක සිසාරේ දිනාගත් අතර, තරගාවලියේ හොඳම දැල් රකින්නාට හිමි Adidas Golden Glove සම්මානයද ඉතාලි කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩක සෙබස්තියානෝ ඩෙස්ප්ලැන්චස්ට හිමි විය.

යොවුන් පාපන්දු ලෝක කුසලානයක් උරුගුවේ කණ්ඩායම දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1997 සහ 2013 වසරවල පැවති තරගාවලියේ අවසන් තරග පරාජයේ අමිහිරි අත්දැකීම දෙවතාවක් ම අත්විඳින්නට උරුගුවේ යොවුන් ක්‍රීඩකයන්ට සිදු ව තිබුණා.

කෙසේ නමුත් උරුගුවේ කණ්ඩායම ඩියාගෝ මැරඩෝනා ක්‍රීඩාංගනයේ දී අද (12) වාර්තා කළ මෙම ජයත් සමඟ වසර 12කට පසු ‍යොවුන් පාපන්දු ලෝක කුසලානය දකුණු අමෙරිකාව වෙත රැගෙන යාමේ භාග්‍ය හිමි කර ගත්තා.

කවිඳු කාරියවසම්