රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී අද (7) පවසා ඇත.

වර්ග 25 ක් යටතේ මෙම මත්පැන් බලපත්‍ර ලබාදී තිබෙන අතර මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 538 ක් මෑත භාගයේ නිකුත් කෙරුණු බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර ස්ටිකරය සැක සහිත මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය කාලයේදී අත්අඩංගුවට ගත් බවත් ඒ අතරේ හොර ස්ටිකර් සහිත මිලි ලීටර් 180 බෝතල් ( කාලේ බෝතල්) 43776 ක් ඇති බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.

මෙම නීති විරෝධී ක්‍රියාව වෙනුවෙන් කෝටි පහකට වැඩි දඩ මුදලක් නියම කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

රජය මත්පැන් ප්‍රවර්ධනය නොකරන බවත් 75% ක බදු අය කරන්නේ ඒ නිසා බවත් ඔහු පවසා ඇත.

මේ අතර මත්පැන් බලපත්‍ර සංචාරක කලාපවලට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.