මාර්ගගත (online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ‘ රාජ්‍ය මර්දන නීති වලට එරෙහි වෙමු ‘ මැයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (17) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී පැවැත්විණි.

එම පනත් කෙටුම්පතට අදාළව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇති වෘත්තිය සමිති, මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන ඒ සඳහා සහභාගී වූ අතර මෙම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම මහජනතාව සමග ඒකාබද්ධ වී මේ සඳහා විරෝධයක් පෑමට ඉදිරියේදී කටයුතු කරන බව එම සියලුම සංවිධාන එහිදී පැවසීය.

එමෙන්ම මේ පනතට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද අද දිනයේ දී පෙත්සමක් විභාග කර ඇත.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලිකව උල්ලංඝනය වන මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් එහිදී ප්‍රකාශ කළේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව යැයි රජය විසින් හඳුන්වා දී ඇති පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සැකසුණු පනත් කෙටුම්පතක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ද ප්‍රකාශ කර තිබියදී මෙරට ආණ්ඩුව විසින් එය ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවත් මෙය සම්මත වුවහොත් රට තුළ අරගල ගණනාවක් ක්‍රියාත්මක වීමට නියමිත බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් එහිදී ප්‍රකාශ කළේය.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝණය කරමින් ආණ්ඩුව විසින් ගෙන එනු ලබන මෙම මාර්ගගත පනත් කෙටුම්පතින් හෙළිවනුයේ ආණ්ඩුවේ අසාර්ථකභාවය වන අතර මීට පෙර අවස්ථා කිහිපයකදිම ආණ්ඩුවේ අසාර්ථකභාවය හෙළි වීම නිසා සමාජ මාධ්‍ය අවහිර ( block) කිරීම සිදු වූ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන එහිදි ප්‍රකාශ කළේය.

මෙම පනත් කෙටුම්පත භාෂණයේ සහ ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය කරනවා මෙන්ම මාර්ගගත ක්‍රම හරහා සිදු කරනු ලබන ව්‍යාපාරවලටද (online buisnes) පනත හරහා බලපෑමක් එල්ල වන බව හැශ්ටැග් පරපුරෙහි වැඩසටහන් ප්‍රධානීන් දර්ශිත ගමගේ අවධාරණය කළේය.

එමෙන්ම මෙම පනත් කෙටුම්පත ප්‍රායෝගික නොවන පනත් කෙටුම්පතක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මේ වන විට මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 35 ක් අධිකරණයේ ගොනු කර තිබේ.