චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීම කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

“සුදු තුරඟ” විහාරස්ථානයේ විහාරාධිපති යින් ලී හිමි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර බීජිං නුවරදී පැවති සාකච්ඡාවේ දී මෙම තීරණයට එළැඹි තිබේ.

“සුදු තුරඟ” විහාර සංකීර්ණයේ ලාංකේය විහාර මන්දිරයේ ඉදිකිරීම් සංකල්පය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන සමයේ ක්‍රියාවට නැංවීම උදෙසා එවකට කථානායක කරූ ජයසූරිය මහතා විසින් මුල් ගල් තැබිණි.

නමුත් පසුකාලීනව එහි වැඩකටයුතු ක්‍රියාත්මක නොවූ අතර එම කටයුතු යළි ආරම්භ කරන ලෙසත්, විහාර මන්දිර සැලසුම් අලුතින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත.

ෆාහියන් භික්ෂුව ලංකාවේ සිට චීනයට රැගෙන ගිය බෞද්ධාගමික පාලි ග්‍රන්ථයන්හි පිටපත් මෙම විහාර මන්දිරයේ තැන්පත් කිරීම සඳහා ලබාදීමට ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.