එළඹෙන 16 වැනි දා වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉවත් කොට, එම තනතුර සඳහා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පත් කිරීමට සූදානමක් ඇති බව රාජපක්ෂ පවුලේ සමීපත ම ඥාතියෙකු වන උදයංග වීරතුංග මහතා පවසයි.

යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක දී වීරතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ, ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බවයි.

එහි දී ඔහු ප්‍රකාශ කළේ, ‘රනිල් දැන් එකඟ වුණා. මේ 16 වැනිදා ජනාධිපති ලේකම් මාරු කරනවා. වගකීමක් ඇතුව මම කියනවා. පාර්ලිමේන්තු මැතිවරණයට සුදානම් වෙනවා.. සමන් ඒකනායකට මන්ත්‍රීවරුන් විරුද්ධයි. ඡන්දයත් තියනවා, විරෝධයත් තියනවා.. එහාට මෙහා පනිනවා. ඒවා නතර කරන්න, මේ රටේ හැම පක්ෂයක් ම බැලන්ස් කරන්න පුළුවන් කෙනෙක් එන්න ඔිනි ඒ තනතුරට…’

‘දැනට යෝජනාව එකඟ වෙලා ඉවරයි. ගාමිණි සෙනරත් තමයි යෝජනා වෙලා ඉන්නෙ. මේ මැතිවරණ වර්ෂයක්. මේක ලියලා තියාගන්න, මම එළියට දාපු හින්දා ඒක වෙනස් කරයිද දන් නෑ. කවුද රනිල්ව ගෙනාවේ? ඒ ගේන අවස්ථාවේ හිටපු කෙනෙක් තමයි එයා..’ යනුවෙන්.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් මහ මැතිවරණය පවත්වන්න බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් කැමති කරගෙන ඇති බව ද එම සම්මුඛ සාකච්ඡාවේ දී වීරතුංග මහතා පවසයි.