රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රිජ්ව ආර්යා රෝහලේ බාහිර රෝගී අංශයේ ආරම්භ කළ පැය 24ක සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

ඒ විසඳුම් සහතික වීමෙන් පසුව බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

එම රෝහලේ අට බී (8B) වාට්ටුවේ සිටින කාන්තා විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපයකට විරෝධය දක්වමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා LRH අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා ඇත්තේ, එම විශේෂඥ වෛද්‍යවරියට එරෙහිව දැනට ක්‍රියාත්මක විනය ක්‍රියාමාර්ගය කඩිනම් කර සුදුසු ස්ථාන මාරුවීම් ලබා දෙන බව ද වෛද්‍ය විජේසිංහ පවසා ඇත.

කෙසේ වෙතත්, පොරොන්දු වූ පරිදි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට පසුබට නොවන බවද වෛද්‍ය විජේසිංහ මහතා අනතුරු ඇඟ විය.