දේශීය ආදායම් දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වසරේ ඔක්තෝබර් මස මැද වන විට ඉහළ ආදායමක් ලබා ගැනීමට සමත් වී ඇතැයි , රේගු, දේශීය ආදායම්, සුරාබදු වෘත්තීය සමිති එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2023 ඔක්තෝබර් මස 19 වන දින වනවිට රැස්කර ඇති ආදායම රුපියල් බිලියන 1229 ක් වේ.

එය දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ වාර්තාගත ඉහළම ආදායම ලෙස සැලකේ.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙම වසරේ ඔක්තෝබර්  මස මැද  වන විට  රුපියල් බිලියන 715 ක ආදායමක් උපයා තිබේ.

මෙම ආදායම් ඉලක්කය රේගු දෙපාර්තමේන්තුව ලබාගෙන ඇත්තේ ආදායම් වර්ෂයේ වැඩි කාලයක් පුරාවට වැඩි බදු ආදායමක් එකතු කරගත හැකි භාණ්ඩ වර්ග 1000කට ආසන්න ප්‍රමාණයක ආනයන තහනම් කර ඇති පසුබිමක බව සඳහන් වේ.

මෝටර් රථ වාහන ආනයනය තාවකාලිකව නතර කිරීම වැනි රාජ්‍ය ප්‍රතිපත්ති හරහා ද එකතු කර ගත හැකිව තිබූ විශාල බදු ආදායමක් අහිමි වී ගොස් ඇති බව රේගු, දේශීය ආදායම්, සුරාබදු වෘත්තීය සමිති එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

ඒ අනුව 2022 වර්ෂයේ රේගු දෙපාර්තමේන්තුව විසින් උපයාගත් ආදායම වන රුපියල් බිලියන 695ක  ප්‍රමාණය මෙම වර්ෂයේ මුල් මාස නවය තුළදීම අභිබවා යාමට රේගු දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ.

එමෙන්ම ඉදිරි මාස කිහිපයේදී උපයන බදු ප්‍රමාණයන් ඇතුළත්ව ගත් කළ වාර්තාගත බදු ආදායමක් ඉපයීමට 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට හැකිවනු ඇති බව ද දැක්වේ.

එමෙන්ම  2022.10.15 වන විට උපයාගෙන තිබූ රුපියල් බිලියන 134.6 හා සසඳන විට 2023.10.15 දින වන විට උසාවි දඩ හැර රුපියල් බිලියන 137.1 ක් උපයා ගනිමින් ප්‍රගතියක් වාර්තා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්වී ඇත.