ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ සීමා සහිත ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ශේෂපත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති අතර ඊට රුපියල් බිලියන 231.5ක් වෙන් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම මුදලින් රුපියල් බිලියන 129ක්, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ද ඉතිරි රුපියල් බිලියන 102 ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් ද ලබා ගැනීමට නියමිත ය.

මෙම පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 300ත් 400ත් පමණ ප්‍රමාණයක් පවතින බව ද වාර්තා වේ.

මෙම මුදල් ඉන්ධන මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා ගත් ණය පියවීමට මෙම ආයතන දෙක භාවිත කිරීමට නියමිත ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම මුදල් මහ භාණ්ඩාගාරයෙන් ලබා ගත් ණය පියවීමටත්, මහ භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාරය යටතේ ලබා ගත් ණය පියවීමටත් භාවිත කිරීමට නියමිත බව ද වාර්තා වේ.