ලෝකයේ වැඩිපුරම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් අද (21) පාර්ලිමේන්තුවේ දී පවසා ඇත.

දියර කිරි සමග සාපේක්ෂව ගත් කළ පිටිකිරි භාවිතා කිරීම පෝෂණය සම්බන්ධයෙන් යහපත් කාරණයක් නොවේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම අභියෝගයක්ව තිබෙන බවද පශු සම්පත් කාර්යාල 337 ක් ලංකාවේ තිබෙන අතර “සැබ්” ආයතනයේ සහය ගෙන දියර කිරි අලෙවිය ප්‍රචලිත කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසා ඇත.

ලංකාවට අවශ්‍ය කරන කිරි ප්‍රමාණයෙන් මෙරටින් ලැබෙන්නේ සියයට හතළිහක් පමණක් බවත් සියයට 60ක්ම විදේශ රටවලින් ආනයනය කරන බවත් හෙතෙම පවසා ඇත.

ලංකාවේ කිරි ගොවීන් සතු දෙනුන්ගේ පෝෂණ අවශ්‍යතාවය වැඩි කිරීමටත් නියමිත වෙලාවට සිංචන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.