ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා පාකිස්තාන ආරක්ෂක විශේෂඥයන් පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

එම සංචාරයේදී ඔවුන් චෙන්නායි, බැංගලෝර්, හයිද්‍රාබාද්, කොල්කටා සහ අහ්මදාබාද් යන නගරවල ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඔවුන් මෙම සංචාරයේ නිරත වන්නේ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීමට පෙර ඒ සඳහා සුදුසු වාතාවරණයක් ඉන්දියාවේ පවතින්නේද යන්න සම්බන්ධයෙන් වූ වාර්තාවක් පකිස්තාන රජයෙන් ඉල්ලා සිටීම හේතුවෙනි.

ඔක්තෝම්බර් මස 15වැනිදා පැවැත්වෙන ඉන්දු-පකිස්තාන තරඟය සම්බන්ධයෙන් ලෝකයේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වැඩි අවධානයෙන් පසුවන බැවින් එම තරඟය පැවැත්වෙන අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පකිස්තාන ආරක්ෂක නියෝජිතයන් විශේෂයෙන් සොයා බැලීමට නියමිතව තිබේ.

ඒ අනුව එම තරගයේ තරඟ නිලධාරීන්, ප්‍රේක්ෂකයන්, තරඟය ආවරණය කරන ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සොයා බලා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

2023 එක්දින ලෝක කුසලානය ඉන්දියාවේ නගර 10ක් කේන්ද්‍ර කරගනිමින් ඔක්තෝබර් මස 05වැනිදා සිට නොවැම්බර් මස 19වැනිදා දක්වා පැවැත්වේ.

කවිඳු කාරියවසම්