2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන වෙනුවෙන් ලෝක කුසලානය විවිධ රටවල ප්‍රදර්ශනය සඳහා සංචාරය කරන අතර, ඒ අනුව හෙට දිනයේ ලෝක කුසලානය මෙරට මහජන ප්‍රදර්ශනය සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

ලෝක කුසලානය හෙට පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන අතර, පස්වරු 03.00 සිට පස්වරු 08.00 දක්වා.One Galle Face Mallහිදී මහජනතාවට කුසලානය නැරඹීමේ අවස්ථාව හිමිවේ.

සැප්තැම්බර් 15 වැනිදා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානකගේ සහභාගිත්වයෙන් කුසලානය මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.

ලෝක කුසලානය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ගමනාන්ත 20කට වැඩි ප්‍රමාණයකට ළඟා වීමෙන් පසුව වන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරක රට වන ඉන්දියාව වෙත ළඟා වනු ඇත.