එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය හෙට (18) සිම්බාබ්වේහිදී ආරම්භ වේ.

කණ්ඩායම් 10ක් සහභාගි වන මෙම තරගාවලියේ සමස්ත තරග සංඛ්‍යාව 34කි. තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකකින් පැවැත්වේ. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය තරග වදින අතර, ‘බී’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදියි.

තරගාවලිය ආරම්භ කරමින් හෙට සත්කාරක සිම්බාබ්වේ පිල සහ නේපාලය අතර තරගය පැවැත්වේ. එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණඩායමට එරෙහිව අනිද්දා (19) පැවැත්වේ.
එමෙන්ම 23වැනිදා ඕමානයට එරෙහිවත්, 25වැනිදා අයර්ලන්තයට එරෙහිවත්, 27වැනිදා ස්කොට්ලන්තයට එරෙහිවත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතය.

තරගාවලියේ මූලික වටයේ තරග මෙම මස 27වැනිදා දක්වා පැවැත්වෙන අතර, අනතුරුව කාණ්ඩ දෙකේ මුල් ස්ථාන 03 හිමි කර ගන්නා කණ්ඩායම් සුපිරි 06 දෙනාගේ වටයේ තරග කිරීමට නියමිතය. සුපිරි 06දෙනාගේ වටයේදී කණ්ඩායම් පළමු වටයෙන් හමු නොවූ කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතය.

සුපිරි 06දෙනාගේ වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක එක්දින ලෝක කුසලානයට සුදුස්කම් ලබා ගනියි. සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ජූලි මස 09වැනිදා හරාරේ ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වේ.