ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය නව වාර්තා රැසක් අලුත් කරමින් අවසන් විය.

මෙහිදී පිරිමි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව විනාඩි 07යි තත්පර 52යි දශම 11කින් අවසන් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉතියෝපියාවේ ලමේකා ගීර්මා සමත් විය.

එමෙන්ම කාන්තා මීටර් 5000 ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට කෙන්යාවේ ෆේත් කිප්යේගන්ට හැකි විය. ඇය පසුගිය සතියේ ඉතාලියේ ෆ්ලොරන්ස්හිදී පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උළෙලේ දෙවැ අදියරේදී කාන්තා මීටර් 1500 ඉසව්වේ ලෝක වාර්තාවද අලුත් කිරීමට සමත් විය. ඒ අනුව කිප්යේගන් සති දෙකක් තුළ ලෝක වාර්තා දෙකක් අලුත් කිරීම විශේෂත්වයකි.

මීට අමතරව පිරිමි සැතපුම් 2 ධාවන ඉසව්ව විනාඩි 7යි තත්පර 54යි දශම 10කින් අවසන් කරමින් නව ලෝක වාර්තාවක් තැබීමට නෝර්වේ රාජ්‍යයේ Jakob Ingebrigtsenට හැකි විය.

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ ලෝකයේ වැඩිම අවධානය දිනා ගත් ඉසව්වක් බවට පත්වුණේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වයි. එම ඉසව්ව සඳහා ලොව සුපිරි ක්‍රීඩකයන් රැසක් සහභාගි විය.

ඒ අනුව එම ඉසව්ව තත්පර 9.97කින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඇමෙරිකාවේ නෝහා ලයිල්ස්ට හැකි විය.

එහි දෙවැනි ස්ථානය කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඕමන්යාලා දිනා ගනිද්දී තුන්වැනි ස්ථානය බොට්ස්නියාවේ ලෙස්ටයිල් ට්බෝගෝ  දිනා ගැනීමට සමත් විය.

ජැමෙයිකා සුපිරි ධාවන ශූර යොහාන් බ්ලේක්ට හිමි වුණේ මෙහි සිව්වැනි ස්ථානයයි. ඔලිම්පික් රන් පදක්කමලාභී ඉතාලියේ මර්සෙල් ජෙකොබ්ස් 07වැනියා ලෙස මෙම ඉසව්ව අවසන් කළා.

මෙම ඉසව්ව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ද සුදුසුකම් ලබා සිටි අතර, ඔහුගේ අබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට මෙම තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය.

කවිඳු කාරියවසම්