වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු අත්පත් කරගත් අක්කර 25,000 ක් නැවත ගොවීන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සොයා බලන බව අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිඅරච්චි පවසා තිබේ.

මෙම වන ප්‍රතිස්ථාපන වැඩසටහන සියලු පාර්ශවයයන්ගේ සහභාගිත්වයෙන් මෙම වසරේදී මෙන්ම ඉදිරි වර්ෂවලදී සිදුකිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි වත්තේගම-කැබිලිත්ත රක්ෂිතයේ මුලු බිම් ප්‍රමාණය හෙක්ටයාර 28,926 ක් පමණ වන බවත් එය 2012 වර්ෂයේදී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් එම භූමියෙන් හෙක්ටයාර 9000 ක් පමණ හායනයට පත් වී ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එයට හේතුව එම ප්‍රදේශයේ අනවසරයෙන් විටින් විට හේන් වගා කිරීම බව දැක්වේ.

එහෙත් 2012 සිට 2019 දක්වා ගොවීන් විසින් විවිධ හේතු දක්වමින් රක්ෂිතය තුල හේන් ගොවිතැන් කරන ලදී.

2020 වර්ෂයේදී වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා සහ එම රාජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, නිලධාරින් සහ ගොවි නියෝජිතයන් සහභාගි වූ රැස්වීම්වලදී රක්ෂිතය තුල කෘෂි බෝග වගා කිරීම සිදු නොකිරීමට සහ රක්ෂිතයෙන් බැහැරව හඳුනාගෙන ඇති භූමියේ වගා කටයුතු සිදු කරගෙන යාමට තීරණය විය.

රක්ෂිතයයෙන් බැහැර එම භූමිය අක්කර 25,000 ක් පමණ වේ.

එම ස්ථාවරයට අනුව 2022 වර්ෂයේදී වත්තේගම – කැබිලිත්ත රක්ෂිතය තුල හායනයට පත්වූ හෙක්ටයාර 1000 ක් පමණ ප්‍රමාණයක ශ්‍රීලංකා යුද හමුදාවේ සහ පොලිසියේ සහය ඇතිව වන වගා කරන ලදී.