මෙවර එක්දින ලෝක කුසලානය සඳහා ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ සහභාගිත්වය අවිනිශ්චිත බව වාර්තා වේ.

පාදයේ මස්පිඩු ආබාධයකට ලක්වූ වනිඳුව ස්කෑන් පරීක්ෂණ දෙකකට යොමුකර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ පාදයේ ආබාධ තත්ත්වය තවමත් සුව වී නොමැති බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩල ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා, ‘තව ටික දවසක් යනවා ඔහුගේ තත්ත්වය හරියටම කියන්න. වෛද්‍යවරු උත්සාහ කරන්නේ වනිඳුව කොහොමහරි ලෝක කුසලානයට සහභාගි කරවන්න’ යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා ඒළඹෙන 26වැනිදා රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.