වනජීවී හා වන සංරක්ෂණ කලාප වල ඇති කිතුල් ගස් මැදීම සඳහා එම කර්මාන්තයේ යෙදෙන්නන්ට කැලයට ඇතුළුවීම සඳහා අවසර දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

වන සංරක්ෂණ කලාපවල කිතුල් මැදීම සඳහා අවසර දෙන ලෙස අමාත්‍යවරයා වනජීවී හා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.

කිතුල් පැණි හා හකුරු වල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී ඇත.

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින හෙයින් කිතුල් පැණිවල ප්‍රමිතිය අනිවාර්යෙන් තහවුරු කළ යුතු යැයි අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඇතැම් නිෂ්පාදනවලට සීනි කවලම් කිරීම නිසා කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියේ දී ගැටලු මතුවන බව අමාත්‍යවරයා පවසා ඇත.

මෙරට ඇති සමස්ත කිතුල් ගස් ප්‍රමාණය ලක්ෂ 30ක් වන අතර ඉන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ සියයට 20ක් පමණි. ඉතිරි සියයට 80ක ප්‍රමාණය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා ඇතැයි කිතුල් සංවර්ධන මණ්ඩලය පවසයි.