වසරක ළූණු අවශ්‍යයතාව ළූණු ටොන් ලක්ෂ 3 ක් වුවත් ඉන් දේශීයව නිෂ්පාදනය වන්නේ ටොන් 5000ක් පමණක් බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසා ඇත.

මීට වසර ගණනාවකට පෙර ළූණු අවශ්‍යතාවයෙන් 30% ක් පමණ දේශීයව නිෂ්පාදන කෙරුණත්, මේ වන විට 95% ක්ම ආනයනය කෙරෙන බව ද අමාත්‍යවරයා අද (22) වෙළෙඳ අමාත්‍යාංශ පරිශ්‍ර බිම්මහලේ උමංදාව හරිත අලෙවිසැල (Umandhawa Green Hut) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සදහන් කර තිබේ.

දේශීය ගොවියා ගොවිතැනින් විතැන් වී ඇති බවත් ඊට කඩිනම් විසදුම් අවැසි බවත්, නැත්නම් තත්ත්වය තවත් දරුණු විය හැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

රටේ ජනතාවට අවශ්‍යය ආහාර ලබා දී ඔවුන්ගේ කුසගින්න නිවීම වෙළෙඳ අමාත්‍යවරයා ලෙස සිය වගකීම වන අතර ඊට රටේ දේශීය නිෂ්පාදන ප්‍රමාණවත් නොවේ නම් ආනයනය කර හෝ ජනතාවට ලබා දීමට සිදුවන බවද තමාට දෝෂාරෝපණය කිරීමට හේතුවක් නොමැති බවද හෙතෙම සඳහන් කර තිබේ.

තරුණ පිරිස් හෘද හා දියවැඩියා රෝග වලට ලක් වීම, පිළිකා වැළදෙන පිරිස් ඉහළ යාම ආදී ලෙස අප ජාතියක් ලෙස ගැටලු රැසකට මුහුණ පාමින් සිටින බවත් උමංදාව මුල් කර ගෙන ග්‍රාමීය ජනතාවගේ වස විසෙන් තොර හරිත නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් සකස් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවත් එවැනි දේශීය නිෂ්පාදකයන් 30 දෙනෙකුගේ ආහාරපාන, එළවලු හා පළතුරු ඇතුළු කාබනික නිෂ්පාදන මෙම වෙළෙඳසැලෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකි බවත්, මෙම වැඩපිළිවෙල තවත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ එහිදී පවසා ඇත.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, ITI ආයතනයේ සභාපති ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර , වියට්නාමය, ඉන්දුනීසියාව, පලස්තීනය හා තායිලන්තය යන රාජ්‍යයන්හි තානාපතිවරුන් හා රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.