ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළ සියල්ලම ඵලදායී ලෙස යොදා ගනිමින් පෞද්ගලික අංශයේ ද දායකත්වය සහිතව කිරි නිෂ්පාදනය වසර 5 ක් තුළ සියයට 53% කින් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

මෙම ව්‍යාපෘතිය අවසන් වන විට දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන 20 දක්වා ඉහළ නැංවෙන බවත් එය පස් ගුණයක වැඩි වීමක් බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

2024 අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව අද (13) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් මෙස්ද පවසා ඇත.

‘මෙම වැඩසටහන යටතේ අඹේවෙල ගොවිපළ ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙනවා. අඹේවෙල ගොවිපළේ දිනකට ලීටර් 1,600 ක් ව තිබූ දෛනික කිරි නිෂ්පාදනය දැන් කිරි ලීටර් 50,000 ක් දක්වා ඉහළ ගොසින් මෙය දිනකට කිරි ලීටර් 75,000 ක් දක්වා වර්ධනය කිරීම අපගේ අරමුණයි.

කිරි ගොවීන් බහුතරයක් වර්තමානයේ එම කර්මාන්තයේ නිරත වෙන්නේ ජීවනෝපායක් හැටියටයි. නමුත් අප එය ලාභ ලබන කර්මාන්තයක තත්වයට ඉහළ නංවා කිරි ගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි.  මේ සඳහා ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම සහ මධ්‍ය පරිමාණ ලාභදායී කිරි නිෂ්පාදන ඒකක පිහිටුවීම වැදගත් වනවා. ඒ නිසා කිරි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධව සිටින්නන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා.’