නොවැක් ජොකොවික් අද උදෑසන එක්සත් ජනපද විවෘත (පිරිමි -කේවල) ටෙනිස් ශූරතාව දිනා ගනිමින් සිය වෘත්තීය ක්‍රීඩා ජීවිතයේ 24වැනි ග්‍රෑන්ඩ්ස් ස්ලෑම් ශූරතාවට හිමිකම් කීවේය. මේත් සමගින් මෙතෙක් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ප්‍රමාණයක් ඔසවා සිටි හිටපු ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරියක් වන මාග්‍රට් කෝට් සතු වාර්තාව සම කිරීමටද නොවැක්ට හැකි විය.

ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි ආතර් ඈෂ් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී නොවැක් හමුවේ පරාජයට පත් වූයේ රුසියාවේ ටෙනිස් ශූර ඩැනිල් මෙත්වදේව්ය. එහිදී අවසන් ලකුණු සටහන දැක්වුණේ තරග වට 6-3ක්, 7-6ක් සහ 6-3ක් ලෙසයි.

මෙම ජයග්‍රහණයත් සමග 36හැවිරිදි ජෙකොවික් ටෙනිස් පිටියේ එක්සත් ජනපද විවෘත කේවල ශූරතාව දිනාගත් වයස්ගතම පිරිමි පුද්ගලයා බවටද පත් විය.

අවසන් මහා තරගය නැරඹීම සඳහා ජෙකොවික්ගේ වයස අවුරුදු 06ක් වන දියණියද සහ 09 හැවිරිදි පුතා පැමිණ සිටි අතර, තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ජෙකොවික් සඳහන් කළේ තරගය ජය ගැනීමට ක්‍රීඩා කරන අතරතුර තමන්ට වැඩිපුර ශක්තිය අවශ්‍ය යැයි හැඟුණ විටදී සිය දියණිය දෙස බලා සිනාසෙන බවයි.

එමෙන්ම තම පුතුට සහ දියණියට ජයග්‍රහණය යනු කුමක්දැයි තේරුම් ගැනීම සඳහා සිය පියාගේ ජයග්‍රහණ දෙස බලා සිටීම අනාගතයට වඩාත් වැදගත් වන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම එම මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ජෙකොවික්ගෙන් විමසා සිටියේ ක්‍රීඩාවෙන් සමුගැනීමට අදහසක් තිබේද යන්නයි. එහිදී ජොකොවික් පවසා සිටියේ තමන් තවමත් අන් සියල්ලටම වඩා ඉහළින් ක්‍රීඩා කරන්නේ නම් ක්‍රීඩාවෙන් සමුගැනීමට අවශ්‍ය නොවන බවයි.