වාරිමාර්ග,ජලාශ,බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමට ඉරාන රාජ්‍ය සමඟින් කළ සාකච්ඡා සාර්ථකව අවසන් විය.

වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ඉරාන රාජ්‍යයේ සංචාරයක් අතරතුර එරට වාරිමාර්ග, ජලාශ හා බලශක්ති අමාත්‍ය අලි අක්බාර් හමු විය.

එහිදී දෙරට අතර වාරිමාර්ග,ජලාශ, බලශක්ති අංශයේ සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබදව සාකච්ඡා සිදු කෙරිණි.

විශේෂයෙන් දෙරට අතර වාරිමාර්ග,ජලාශ,බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සදහා ඉරානය ආර්ථික සහයෝගීතාව සදහා වූ ඒකාබද්ධ කොමිසම (UCEC) හි වැදගත්කම ඔවුන් පැහැදිළි කර ඇත.

එහි දී මෙගාවෝට් 120 ක් විදුලි උත්පාදනයක් සිදු කෙරෙන උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරීම පිළිබදව ඉරානයේ ෆැරබ් සමාගමේ නියෝජිතයින් හට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ස්තූතිය පුද කර තිබේ.

උතුරු මැද පළාතේ ජනතාව අතර බහුලව ව්‍යාප්ත වී ඇති වකුගඩු ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුව පිළිබදව කරුණු ඉදිරිපත් කළ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා, පොළොන්නරුව, අනුරාධපුරය  දිස්ත්‍රික්කයන්හි කුඩා පරිමාණයේ පිරිසිදු පානීය ජල ව්‍යාපෘති ඉදිකිරීමට සහයෝගය දක්වන ලෙස කළ ඉල්ලීම සදහා ද එරට නියෝජිතයින්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණි.

වෙළද, සංචාරක,වාරිමාර්ග,ජලාශ, බලශක්ති ක්ෂේත්‍රවල පවත්නා සබඳතා වැඩි දියුණු කර ගැනීමට ඇති හැකියාව පිළිබදව එරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් සමග කළ සාකච්ඡා මෙරටට සුභදායී ලෙස ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් විය.