අස්වනු නෙලන්න ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් අධික වැස්ස නිසා විනාශ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පසුගිය යල කන්නයේ වගා කරන ලද කුඹුරු දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන වැසි නිසා සහ ගංවතුර නිසා විනාශයට ලක්ව තිබේ.

වැසි තත්ත්වය ඇති වීමට පෙර පැවති නියඟය නිසා කුඹුරු අක්කර 64,088ක වගා හානි වාර්තා විය.

නියඟය නිසා සිදුවූ වගා හානි වලට පළමුවෙන්ම වන්දි දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකරට උපදෙස් දී ඇත.

අදාල වන්දි මෙම වසරේ ම ලබා දෙන ලෙසත් රජයෙන් මුදල් ලැබීම ප්‍රමාද වුවහොත් මණ්ඩලය සතු මුදල් වලින් හෝ එම වගාහානි වන්දි ගෙවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දී තිබේ.