ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව අද (12) දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

එහි සභාපති නලින්ද ඉලංගකෝන් කියා සිටියේ එම යෝජනාවලිය සඳහා විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියද හිමිවූ බවයි.

මේ වනවිට විදුලි උත්පාදනයෙන් 96%ක් ජල විදුලිය උපයෝගි කර ගනිමින් සිදුකරන අතර, විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ අතිවිශාල ලාභයක් ද වාර්තා කර තිබෙනවා.

ඒ අනුව විදුලි ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා කියා සිටියා.

එහි මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ මේ වනවිට එහි සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

“විදුලි බිල හරහා දෙන්න පුළුවන් උපරිම සහනය ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා. හැමෝම කතා කරන්නේ ඒකක 0 – 30, 0 – 60 සහ 0- 90 අතර ජනතාව ගැන. ඉතාමත්ම අඩු මට්ටමේ තමයි ඒ අයගේ ජීවන තත්ත්වය තියෙන්නේ. අනිවාර්යයෙන්ම මෙහි ප්‍රධාන වාසිය ඒ පරාසය තුළ සිටින අඩු ආදායම් ලබන ජනතාවට ලැබෙයි.”