විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පසුගිය වසර පහ තුළ විවිධ හේතු මත පනස් දහසකට වැඩි පිරිසකගේ (53,813) විශ්‍රාම වැටුප අත්හිටුවා තිබේ.

එම කාලය තුළ වැඩි ම පිරිසකගේ විශ්‍රාම වැටුප අත්හිටුවා ඇත්තේ මේ වසරේ පළමු මාස අට තුළදී වන අතර එම ගණන 14,742කි. එසේ ම 2018දී 5454ක්, 2019දී 5570ක්, 2020දී 6155ක්, 2021දී 8949ක් සහ 2022දී 12,943ක් වශයෙන් විශ්‍රාම වැටුප අත්හිටුවා ඇත.

තාවකාලිකව විශ්‍රාම වැටුප නතර කිරීම, විදේශ අංශය හරහා ගෙවීම් නතර කිරීම, නැවත විවාහ වීම, පදිංචි තහවුරුව නොමැති වීම, භාරකරු වෙනස්වීම, බැංකුව මාස තුනක් වැටුප හරවා එවීම, වැටුප් ගොනුව නොලැබීම, අභ්‍යන්තර විගණනය මඟින් දැනුම් දීම මත, යැපෙන්නන් වෙනස්වීම, නැවත සේවයේ පිහිටුවීම මත, වැඩිපුර ගෙවීම් මත, බන්ධනාගාර ගතවීම, සම්මුඛ පරීක්ෂණයට නොපැමිණීම, ජීවිත සහතිකය නොලැබීම, ලේඛනවල අඩුපාඩු වැනි හේතු මත මෙසේ විශ්‍රාම වැටුප අත්හිටුවීමේ තීරණය ගෙන තිබේ.

මේ අතර, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පසුගිය වසර පහ තුළ විදෙස්ගත ශ්‍රමිකයන් 12,944 දෙනකුගේ විශ්‍රාම වැටුප නතර කර ඇත.

ඒ අනුව 2018දී 1289ක්, 2019දී 937ක්, 2020දී 95ක්, 2021දී 2490ක්, 2022දී 4108ක් සහ 2023දී 3825කගේ විශ්‍රාම වැටුප අත්හිටුවා ඇත.