නීති විරෝධී අයුරින් විවිධ උපාංග සවිකර තිබූ විශේෂ චාරිකා බස්රථ ඇතුළු බස්රථ 28 එරෙහිව තහනම් නියෝග නිකුත් කළ බව රථවාහන මූලස්ථානය පවසා ඇත.

බස්රථ පනහකට අධික ප්‍රමාණයක් පොලොන්නරුව ශාන්තිපුර ප්‍රදේශයේ දී විවිධ ආලෝක ධාරා දල්වමින් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන අයුරු සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය දිනවල සැරිසැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස් රථවාහන මූලස්ථානය එම බස් රථ වල හිමිකරුවන් සහ රියදුරන් කොළඹට කැඳවා දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.

ජපන් ලමිස්සි, දුඹුරු ලමිස්සි, රෝස සමනලී, සුරංගනාවි කිඳුරංගනා වී දම් රැජින සහ සොනික් ආදී අන්වර්ථ නම් රැසකින් යුත් බස් රථ වූ බව පොලිසිය සඳහන් කර ඇත.

රථවාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරුන් සිවුදෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම වැටලීම සිදු කර ඇත.

ඒ අනුව නියමිත පරිදි බස් රථ සකස් කරන තෙක් ඒවායේ ධාවනය තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසා ඇත.

එම බස් රථ ධාවනය කළ රියැදුරන්ගේ රියැදුර බලපත්‍ර ද පොලීසිය භාරයට ගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ.