මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා විවෘත කළ වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙම මස 30 වනදා යි න් පසුව වසා දැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කොට ඇත.

මෙහෙයුම් ගාස්තු ඉහළ යාම හා ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීම නිසා එම ගබඩා මේ මස 30 වන දායින් පසුව වසා දමන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩට දුන් උපදෙස්වලට අනුව මේ තීරණය ගෙන තිබේ.

වී අලෙවි මණ්ඩලය, යල් කන්නයේ වී මිලදී ගැනීම සඳහා ගබඩා 39ක් විවෘතව කොට තිබූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

නාඩු වී කිලෝවක් රුපියල් 95ක්, සම්බා වී රුපියල් 100ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 105 බැගින් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබිණි.

වී අලෙවි මණ්ඩලය රුපියල් 95කට වඩා වැඩි මිලකට වී මිල දී ගැනීම නිසා පෞද්ගලික අංශය රුපියල් 110ක් දක්වා වී මිල ඉහළ නැංවීම නිසා අදාළ මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකරන ගොවීන් වැඩි මිලට පෞද්ගලික අංශයට වී අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙවර යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය වී කිලෝග්‍රෑම් ලක්ෂ 25ක් මිල දී ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් 2කට රුපියල් 40,000ක් බැගින් සහනාධාර මෙන්ම යල කන්නයට අවශ්‍ය මඩ පොහොර නොමිලයේ ලබා දුන්න ද ගොවි ජනතාව වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට පියවර නොගත් බවට එම අමාත්‍යාාංශය චෝදනා කර ඇත.