වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම අඛණ්ඩව සිදු කළ හැකි බව එම මණ්ඩලය අවධාරණය කර ඇත.

ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට සූදානම් නම් එම මුදල් පවා යොදවා ගනිමින් වී මිලදී ගැනීමට හැකි බව වී අලෙවි මණ්ඩලය පවසා තිබේ.

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමට රජය මුදල් ලබා දී නැති බවට දැක්වෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබී ඇති බවට අද (18) දින ඇතැම් මාධ්‍යවල පළ වී තිබුණත්, එය නිවැරදි නොවන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කර තිබේ.

මීට අමතරව රජය විසින් රාජ්‍ය බැංකු මඟින් ණය මුදලක් වශයෙන් තවත් රුපියල් මිලියන 750ක් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතැයි ඔවුන් පවසා ඇත.

පසුගිය මහ කන්නයේදී වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 13ක් වැය කළ අතර, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එම මිලදී ගන්නා ලද වී තොග සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලයේ ලබා දීමට රජය පියවර ගෙන ඇති අතර මෙම සහල් එක් පවුලකට මාසයකට කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02කට සහල් කිලෝග්‍රෑම් 20ක් වශයෙන් පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී නොමිලයේ නිකුත් කල බව අමාත්‍යාංශය පවසා ඇත.

මීට අමතරව මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ගොවීන්ගේ භාරකාර අරමුදල මඟින් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව ද සඳහන් වේ.

එම මුදල වැය කර වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය කටයුතු කළ අතර, මේ වන විට රුපියල් මිලියන 300ක වී මිලදී ගෙන ඇත.

ඉන් තවත් රුපියල් මිලියන 200ක් ඉතිරිව ඇතත්, මේ වන විට ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක විවෘත කර තිබූ වී ගබඩා වසා දැමීමට සිදු වූ බව අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

එයට හේතුව නම් දැනට පවතින නියඟය තත්ත්වය හේතුවෙන් අක්කර දහස් ගණනක වී වගා විනාශ වීමත්, ලබන මාර්තු වනතෙක් නැවත වී අස්වැන්නක් නොලැබෙන නිසා වී මිල ඉහළ යාමට ඉඩ ඇතැයි අනුමාන කරමින් ගොවීන් විසින් වී අලෙවි නොකර රඳවා තබා ගැනීමත්ය.