වී අලෙවි මණ්ඩලයට අයත්  ගබඩා හතරක වී තොග අතුරුදන්  වීම සම්බන්ධයෙන් ගබඩා බාර නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනම් කර තිබේ.

පොල්ගහවෙල, ආණමඩුව, නිකවැරටිය හා මහව  වී  ගබඩා හතරේ වී කිලෝ ග්‍රෑම් නවලක්ෂ හැත්තෑඑක්දහස් පනහක් අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණය විය.

මෙම වී තොගයෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 100කි.

2021-22 වර්ෂවල දී මෙම සොරකම  සිදුවී ඇති අතර ඒ සම්බන්ධව වහාම විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දී තිබිණි.

එම විමර්ශනයේ වාර්තාව කෘෂිකර්ම  අමාත්‍යවරයාට අද (7) බාරදුන් අතර විමර්ශනයෙන්  හෙළි වූ කරුණු අනුව අදාල නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා ඇත.

මෙම වී තොග අස්ථානගත වීම සම්බන්ධ වැඩිදුර විමර්ශන  තුනක්  කරන අතර අභ්‍යන්තර විගණන විමර්ශනයක්, මුලික විමර්ශනයක් හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබේ.

වැඩ තහනමට ලක් වූ නිලධාරීන්ට අමතරව  තවත් පුද්ගලයින් සොරකමට සම්බන්ධ දැයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

දිවයිනේ අනෙකුත් ගබඩා වලත් වී අලෙවි මණ්ඩලය සතු වී තොග මේ අයුරින්ම වංචා සහගත  ලෙස අවභාවිත කර ඇත්ද යන්න සම්බන්ධව සොයා බලන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට අද  (07) උපදෙස් දී ඇත.