කලක් සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මඩකලපුව පූනානි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලය 14 වෙනිදා දහවල් බෞද්ධ ආගමික කටයුතුවලට පමණක් මුල් තැන දෙමින් එම විශ්ව විද්‍යාලයේ සභාපති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ඇතුළු උපකුලපතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට මූලික කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනවාරි 18 වෙනිදා සිංහල, දමිළ, මුස්ලිම්, ඇතුළු සියලු ජාතීන් හා ආගම් නියෝජනය කරමින් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල නිර්මාතෘ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර ඇත.

මෙම විශ්වවිද්‍යාලය සඳහා දැනටමත් අයදුම්පත් තුන්දාහක් පමණ ලැබී ඇති අතර මෙහි අධ්‍යාපන ලැබීමට දාහ
දාහකට ආසන්න සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබා දීමට සියලු පහසුකම් පවතින බවත්, ලෝකයේ ජාත්‍යන්තර තලයේ පහසුකම් පවතින විශ්ව විද්‍යාලයක් බවට පත්කර ඇති හිස්බුල්ලා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

මෙහි අධ්‍යාපනය ලබන සිසුන්ට ණය පහසුකම් ලබාදීමට එම ස්ථානයේ බැංකු කිහිපයක් ආරම්භ කරන බවත්, එම සිසුන් ලබාගත් ණය රැකියා සිදුකරන අවස්ථාවලදී ගෙවීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද එහිදි පවසා ඇත.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වත්මත් උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා, මෙහිදී වැඩ භාරගත් අතර උතුරු මැද, නැගෙනහිර, ඌව යන පළාත්වල සිසුන්ට මෙන්ම සෙසු පළාත්වල විශ්ව විද්‍යාල වරම් තිබෙන දරුවන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවත්, ජනවාරි මාසයේ සිට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදී අධ්‍යාපන ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩ භාරගනිමින් මෙහිදි සඳහන් කර ඇත.

2018 වර්ෂයේ දී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු අවසන් කෙරුවද සහරාන්ගේ ප්‍රහාරයත් සමඟ එම විශ්ව විද්‍යාලයේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ අතර, වසර දෙකකට ආසන්න කාලයක් එම විශ්වවිද්‍යාලය යුද හමුදාව යටතේ පාලනය වූ අත​ර එම කාලය තුළ කොරෝනා මධ්‍යස්ථානයක් හා නීරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පැවැති නැගෙනහිර විශ්ව විද්‍යාලය පසුගිය ඔක්තෝබර් 20 වැනිදා යුද හමුදා විසින් නැවත වරක් එම විශ්ව විද්‍යාලයේ සභාපති හිස්බුල්ලා මහතාට භාර දෙන ලදී.

මෙම අවස්ථාවට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සභාපති, හිස්බුල්ලා මහතාගේ පුත් හිරාස් හිස්බුල්ලා මහතා ඇතුළු විශ්ව විද්‍යාල වල ප්‍රභූන් රැසක් සහභාගි වී සිටියහ.